ඔහු ගේ මේ කවිය දෙස බලන්න:
To a Poor Old Woman
by William Carlos Williams
munching a plum on
the street a paper bag
of them in her hand
They taste good to her
They taste good
to her. They taste
good to her
You can see it by
the way she gives herself
to the one half
sucked out in her hand
Comforted
a solace of ripe plums
seeming to fill the air
They taste good to her
ඉහත කවයේ සිංහල අනුවාදය මෙසේ දැක්විය හැකි ය:
‘දිළිඳු මැහැල්ලිය වෙතයි’
ඈ අත කඩදහි මල්ලක වූ
සපමින් මිදිගෙඩියක්
පාර දිගේ. . .
ඒවා ඇයට රස ය
ඒවා ඇයට රස ය
ඒවා ඇයට රස ය
එය ඔබට පෙනේ
ඈ අත වූ මිදි පළුව
උරා බොන ලීලාවෙන් ම
සැනැහේ
ඉදුණු මිදිවල සුවෙන්
‘ඒවා ඇයට රස ය’
පෙනෙ වී,
පිරී යන සේ ගුවනත
මෙම කාව්‍යය ලියා ඇතිතේ 1934-35 දක්වා වූ ඇමරිකානු ‘මහා ආර්ථික අවපාත’ සමයේ දී ය. මෙහි දී විලියම්ස් විසින් සමාජ අසාධාරණය හා දිළිඳු කම පසුබිම් කොට කවිය තනා ඇති නමුත් බොහෝවිට කාව්‍යයේ ප්‍රතිධ්වනී දෙන්නේ මැහැලියක් විසින් තමුන්ට ලැබිය හැකි අතැති සතුටකින් සන්තෘෂ්ටිමත් වන මානසික චිත්‍රය කි. ඇය දිළිඳු මැහැල්ලියක් ලෙස කවියා උපකල්පන කරන්නේ ඈ ඇදි වසිත්‍රයෙන් ද? නැතහොත් විදියක් දිගේ ඈ වියලි මිදිසපමින් යන බැවින් ද? මිදි මල්ලක් මිළ දී ගැනීමට තරම් වාසියක් ඇයට ලැබී ඇති සේ ය. එසේ ම, මිදි එතරම් මිළක් ද නොවන බැවින්, ඇගේ දිළිඳුකම එයින් ප්‍රකට වේ ද? පුරාතන කවිහූ මල් නෙලීම හෝ ඉදිණු පලතුරු අනුභවය ලිංගිකත්වය පිළිබිඹු කිරීමට යොදා ගෙන ඇත. එහෙත් විලියම්ස් මිදි කෑම ලිංගිකත්වය ආරෝපනය වෙනුවට දිළිඳුකම තුළ ලද හැකි සන්තෘෂ්ටිය දැක්වීමට යොදා ගෙන ඇත්තේ ය. විලියම්ස් ගේ රචනය මගින් හුවා දක්වන දෛනික දිවියේ වස්තුන් මෙහි දි ද, මතු වී දැක්වෙයි. ‘දිළිඳු මැහැල්ලියක් වෙතයි’ යන කාව්‍යයේ හරය වන්නේ දිළිඳුකම අරා මැහැල්ලියක් විසින් ජීවිතයේ රසය විඳින්නටත්, ලද විටක දෛනික දිවියේ ඉතා ම කුඩා දෙයින් සැනහෙන්නටත් ඇති ශාක්‍යතාව විද්‍යමාන කරයි. විලියම්ස් භාවිත කරන භාෂාව වනාහි ‘පුරාණ ජේම්ස් රජු ගේ බයිබලයේ’ ගිතාවලියේ වූ භාෂා විලාශය යි. එකී බයිබලයේ දැක්වෙන විවිධ රූපකයන් මෙහි දී ද මතුවී ඇති හැටි පෙනේ.
“සමිඳාණන් යහපත් බව රසබලා දැනගන්න” (ගීතා 34:8).
ඉහත දැක්වෙන ආකාර ‘රසය’ මතු කර දැක්වීම මගින් එය ප්‍රකට වෙයි. කාව්‍යය නිර්මාණයේ ලා භාවිත කර ඇති සංවිධානය ඉංග්‍රීසි කවියේ වූ දෙවන පෙළ සදැස් ලක්ෂණය අත්හැර ‘නිදහස් පෙළ’ භාවිතයට ගෙන ඇත. ඇමරිකානු කාව්‍යයේ ‘නිදහස්’ ආර භාවිතයේ දී විලියම්ස් මුල් තැනක් ගෙන ඇත්තේ ය. එසේ ම, ඔහු ගේ නිදහස් ආර කෙටි ය; අක්‍රමික ය. විලියම්ස් සමකාලීන ඇමරිකානු කවින් විසින් ගත් අනාගමික, දුහුල් භාෂා රිතීන් මත නොයැපී ඔහුට ම ආවේනික වූ ත්‍රෛයිභාෂික සංක්‍රමික උරුමය පිළිඹිබු කළේ ය. එසේ ම ඔහු ගේ වස්තු විෂය ලෙස බහුල ලෙස ගැණුනේ නිව්ජර්සි ප්‍රාන්තයේ හමු වූ තෙවැනි පන්තියේ රෝගින් ගේ සමාජ ආගමනය යි. නව්‍ය ඇමරිකානු නිදහස් කාව්‍යයයේ අක්‍රමවත් පේළි තුළින් විලියම්ස් ස්වකීය කලාවේදී දෘෂ්ටිය “දිළිඳු මැහැල්ලිය වෙතයි” යන කවෙන් නින්නාද වාදන කෞෂල්‍යය ද මතු කරයි. මෙහි නින්නාද වන “ඒවා ඇයට රස ය” යන පෙළ විලියම්ස් මේ කෞෂල්‍ය අත්හදා බැලීමට යොදා ගත්තකි. එයින් මෙතුවක් මැනවින් ගලා සපැමිණි අදහස් වැල ක්ෂණික ලෙස බිඳ වැටේ. මෙනයින් මෙසේ අදහස බිදීම මගින් ශබ්ද රසය හා අර්ථ රසය භාවාත්මක ලෙස වර්ධනය කළ හැකි අයුරු විලියම් කියවන්නාට දක්වයි. නින්නාද වන පෙළ, විලියම්ස්, නොබෙදා මුලු පෙළ ම පෙනෙන පරිදි දක්වා ඇත. මෙසේ ප්‍රතිධ්වනිකරණය මගින් භාවාත්ම රූපයක් අපගේ මනස තුළ මවන්නට විලියම්ස් සමර්ත වෙයි. මිදිවල රසය දැනෙන්නේ අපට නො ව, ඇයට ය. එයින් ඇගේ කුසගින්න මිදිවල රසය තව තවත් වැඩි කරන්නට හේතු වේ. දෙවන ප්‍රතිධ්වනිකරණය මගින් එහි රසය මතු කළ හැකි ය. එනයින් කාව්‍යය කියවන්නා විසින් බර කරන වචනයන්ට අනුචිත ලෙස ඈ විඳින රසය මතු වී පැන නඟී. ඒ මිදි පෙනුමෙන් පියකරු නොවිය හැකි ය; රසයෙන් සමහරක් ඇඹුල් විය හැකි ය; සමහරවිට මදක් නරක්වී තිබෙන්නට ද පුළුවන. එහෙත් “ඒවා ඇයට රස ය.” අපට හොඳ ව පෙනෙන දේ ඇයට නොපෙනේ; ඇයට දැනෙන්නේ ඒවා යේ මනරම් රසය පමණි. විලියම්ස් ස්වකීය කවිය කියවීමේ දී, පෙළ වෙන් වූ ස්ථානයන් හි නො නැවති ඒවා අවධාරණය පිණිස පමණක් යොදා ගනී. හෙතෙම විවිධ වචන අවධාරණයෙන් නැවත නැවත යෙදුණු පෙළහි අරුත මද වශයෙන් වෙනස් කරයි. එනයින් මැහැල්ලිය විසින් විඳින රසය, වචනයෙන් වචනය අවධාරණයෙන් මතු කොට දක්වයි. භාවිත භාෂාව පොදු ජන වහර බැවින් එයින් ගම්‍ය කරවන අදහස තවත් තීව්‍ර කරයි. පොදු ජන සැපත, සතුට එ සේ මතු කිරීමේ හැකියාව විලියම්ස් දක්වන ඉමහත් ශාක්‍යතාවයකි.
ආර්ථික අවපාතයෙන් පීඩා විඳින ජනතාව වෙත කෙරෙන ආයාචනය වනාහි දානශිලීත්වය, අනුකම්පාව සහ පංති ජීවන දුෂ්කරතාවයන් මදක් මිදී ජීවිතයේ තෘප්තිය දෙස යොමු වන ලෙස ය. විලියම්ස් හට “දිළිඳු බව” අමුර්තයක් නො ව, එය තත්‍ය අත්දැකීමකි. එනයින් මැහැල්ලිය විසින් විඳින රසය ජීවිතයේ අතිශය අමිහිරි තත්ත්ව යටතේ ලද ස්ල්ප සතුටකින් අමාන්දානන්දනයට පත්වීම සඳහා කියවන්නා පොළඹ වයි. ඒ හෙයින් විලියම්ස් ස්ර්වශුභවාදී දෘෂ්ටියක් සඳහා පාඨක අප කැඳ වයි. ජීවිතය දුක සැප අතර දෝළනය වන ගමනකි. එහි දී එකිනෙකා තමාට අනන්‍ය වූ රස වින්දනයක ගැලේ; ඇලේ. එ සේ, මැහැල්ලිය ද තමන්ට ලබා ගත හැකි අතට හසු වූ සැපතෙන් උපරිම ලෙස තෘප්තිමත් වේ. ඒ දසුන දකින අප ද, ඇගේ තෘප්තිය කෙරෙහි ඇදෙන්නේ ජීවිත සටනේ සුළු සැනැසුම් සොයන්නට වෙර දරමින් ය. ඈ ලබන්නා වූ සැනැසීම හා තෘප්තියෙන් සකල ගුවන් තලය ම පිරී වැසි යයි.
මැහැල්ලිය දේශපාලන සමාජීය හෝ ආචාර ධාර්මික රූපයක් නො ව, ඈ ජීවිතය භුක්තිවිදීම පිළිබඳ පාඩමක් අපට කියා දේ. අප රස විඳින දෙයෙහි උපරිම ආත්ම තෘප්තියක් ලැබිමට පාඨකයා හට විලියම්ස් ආරාධනය කරයි. එනයින් මේ පෙළ සොළොසින් ගම්‍ය කරනුයේ පංචෙන්ද්‍රිය මගින් ග්‍රහණය කර ගත හැකි අසේනීය තෘප්තිය යි. ඈ සැපීමෙන්, මිදිගෙඩියේ යුෂ උරාබීමෙන් ඇතිවන සංතෘෂ්ටිය අවසානයේ ගුවනත රැව් පිළි රැව් දෙයි; එය පුරාවා ල යි. විලියම්ස් ගේ කවය ගැඹරේ වූ සමානාත්මවාදී දැක්ම අප නවතාවයෙන් පුරවයි. මේ ඉර හද යට සැමට පොදු වූ ‘සුළු සතුට’ පෝසතුන්ට මෙන් දිළින්ඳාට ද පොදුය; වින්දනය අප සැමට ම පොදු ය. ඈ අතට ළඟ වූ දෙයින් තෘප්තිමක් වූවා ය. ඒ ප්‍රීතිය ඇයට පමණක් සීමා නො වී අවට දස අත, මුළු වායු ගෝලය, ගුවන් තලය ම පුරවා ලී ය. එහෙත් අවාසනාව නම් මේ දිළිඳු මැහැළිය සොයා ගත් සතුට වැනි අවස්ථා අපට භුක්ති විඳිමට ඇති නොහැකියා ව ය. එනයින් මේ මැහැල්ලියට වඩා අප වඩා අනුකම්පා ලැබිය යුතු නොවේ ද?
ඔහුගේ තවත් සුළු දෑ අගය කළ කවියකට අවධානය යොමු කරමු. ‘ප්‍රේමගේ ගමන’ (Journey To Love) හි පැමිණ ‘සෙවලනැල්ල’ (Shadows) කාව්‍යය මෙසේ ය:
"Shadows cast by the street light
under the stars,
the head is tilted back,
the long shadow of the legs
presumes a world taken for granted
on which the cricket trills"
“මගතොටේ එළියෙන් වැටුණු සෙවනැලි
තාරකා යට
හිස පසට ඇල වී
පායුගලක දිගු සෙවනැලි
අනුමාන කරන නොසලකන ලොවක්
මත කම්පිත රැහැයි නද”
No comments:
Post a Comment