මන්ද’යයි අසමි මම


දුටිම් මා ලෙන්ගතු රුවක් අද

හිමිසඳ සමඟ අත්වැල් දවටා

දැවටි දැවටි පියකරු සුරතල් කැන්ඳා

‍දරු තිදෙනෙක් පසු පස යන්නා. . .


දිටි විට මේ සිඟිති පවුල

විමසයි යමක් මා හිත යට සිට:

“මා සිත් ගත් ලියෝ මන් ද?

මා හැර අනෙකුන් අතිනත් ගන්නේ. . .”

දින පොතෙන් ගත් කුරුටු සටහන්

ජුදෙව් සම්ප්‍රදායට අනුව දරුවෙකු ආගමික මුල පිරීම සිඳු කරන්නේ වයස අවුරුදු දාසය දී ටොරාව (ජුදෙව් ශුද්ධ ලියවිල්ලේ ව්‍යවස්ථාව) ප්‍රසිද්ධියේ සජ්ඣායනා කිරීමෙන් ය. එම අවසථාවට එළැඹි දරුවන් ව්‍යවස්ථාවේ ප්‍රත්‍රයා හෙවත් “බේන් මිෂ්ෆට්” ලෙසින් හඳුන්වයි. එහෙත් ජුදෙව් සමාජ සම්ප්‍රදායට අනුව, දරුවෙකු පූර්ණ මිනිසෙකු වන්නේ වයස තිසිවිය සපිරුණ විට දී ය. එවිට ජුදෙව් තරුණයකු සමාජයේ වැඩිහිටියකු වශයෙන් ක්‍රියා කිරීමටත්, පිළි ගැනීමටත් ලක් වෙයි. වයස තිස්වියට එළඹිම සමඟ ජීවිතය පිළිබඳ ගැඹුරු ආවර්ජනයට එළඹීම මා ජීවිතයේ කැපිපෙනෙන මං ලකුණක් සටහන් කරන්නක් විණ. එය ළදරු වියෙන් තරුණ වියට, තරුණ වියෙන් පරිනත දිවියට නැං වූ උපනයනය යි. පහත උපුටා දක්වා ඇත්තේ මා තිස් විය සපිරීම සමඟ ජීවිතය දෙස කළ අවධානාත්මක දැක්ම යි. දිනපොත විනාශ වී අදහස් බොඳ වී ගියත් එය සයිබර් අවකාශයේ සදා රැදෙනු පිණිස මෙසේ මා ඒ අදහස් සටහන් කොට තබන්නෙමි෴

“ජීවිතයේ ඇති මහත් ම ප්‍රේහෙලිකාව මරණය යි. විවාහ වී දරුවන් හදා, පිටරට ගොස් මුදල් එකතු කොට, නිවෙස් තනා දරුවන් උස් මහත් කොට, විභාග සමත් කරවා, රැකියාවන් ට මුහුණ දී, විවාහ දක්වා රැක බලා, කටයුතු කොට අවසානයේ දී මරණය භූක්ති විඳි යි.”

“ජීවත් වීම හා ජීවිතය වනාහි දේව වරප්‍රසාදයකි. එය කෙතරම් කෙටි ද යන්න වටහා ගැනීම සඳහා දරුණු මාරාන්තික රෝගයක් වැළදිය යුතු ය. කිතුනුවන්ට ඇති එකම වටිනාකම වන්නේ අපගේ බලාපොරොත්තුව පාරම්මරණිය වන බැවිනි.”

“ආගම වූ කලි ජීවිතය හා ක්‍රියාකාරී ලෙස සම්පර්කනය වන්නේ මරණය සමඟින් ය. එයත් මරණයේ අවසාන කටයුතු අළලා සිඳුවන අභිචාර චාරිත්‍රයන්ට පමණක් සීමා වෙයි. එහෙත් කිතු දහම උපතේ සිට මරණය දක්වා විවිධ අවස්ථාවන්හි දී ජීවිතයට, ජීවිත ගමනට සමීප වෙයි. එනයින් කිතු දහම සමාජීය ආගමකි.”

“යමෙකුගේ ක්‍රියාවේ ප්‍රතිපලය ව්‍යසනයක් නම් එකී ක්‍රියාව දෙස නොව, එය කළ හා එය සඳහා තුඩුදුන් ආකල්පය මත බලන්න. බොහෝ විට එය ප්‍රේමයේ සෙනහසේ හෝ සද්භාවයේ ආකල්පයක් විය හැකි ය. එනයින් ක්‍රියාවට වඩා ආකල්පය විමසා බලනු මැනවි.”

“අදහන්නන්ට පමණක් කීකරු විය හැකි ය; එසේ ම කීකරු විය හැක්කේ ද අදහන්නන්ට ම පමණි.”

“අසල්වාසියකු වීම ක්‍රියාවක් නොව, සංකලපයකි. එම සංකල්පයේ අඩංගු වන්නේ චර්යාත්මක, මනෝමූලාත්මක පදනමකි. එබැවින් අසල්වාසියකු වීම හෝ නොවීම කෙනෙකුට සිඳු කළ හැකි ය.”

“සෑම සත්ත්වයෙක් ම ප්‍රේමයන් වෙළුණු විට අතිශයින් ම අලංකාර වෙයි. එය ලොවේ සොඳුරු ම මිනිසුන්ගේ පවතින නිත්‍ය ආලංකාරකය යි. ප්‍රේමය වනාහි පරිපූර්ණ හදවතිකින්, කොන්දෙසි විරහිත ලෙස, අනවශේෂ ව, පරාර්ථයෙන්, සම්පූර්ණ ලෙස දානය කළ යුත්තකි.”

“ඇය සවිමත් ය; මට ශක්තිය දීමට පුළුවන. ඇය බලවත් ය; මට රැදෙනු පුළුවන ය. ඇය උණුසුම් ය; දිවි පහන් කරනු පුළුවන් ය. ස්ථිර වචනයක් ලදමි. අද අලංකාර ය; අපුර්ව ය; අචලිත ය; ස්ථිර ය!”

“ප්‍රේමය වනාහි සුව නොවන හිත් අමාරුවකි.”

“මිනිසෙකු තවකෙකුගෙන් වෙනස් වන්නේ ඔහු තුළ ඇති බලාපොරොත්තුව සහ ඇදහීම මත ය. එනයින්, ජීවිත එල්ල කරන අභියෝග හා පරාජයන් අභිමුව, ආපසු සටන් කොට, වෙහෙසින් හෙම්බත් නොවී, ජීවිතය ද අත් නොහැර සිටිමට ඒවා ඔහුට අත්වැල සපයයි.”

“ජීවියේ වේඳනාවක් නොවී නම්, ප්‍රීතියේ සන්තෝෂයක් නැත. ජීවිතයේ විරහවක්, වෙන් වීමක් නොමැති නම් සමීප ඇසුරෙහි සෙනෙහස් පහසක් ද නැත.”

ඇය සිනා සී මා දෙස බලා, නළළේ අත හොවා “කාලය ඔබ මොලොක් ලෙස ස්පර්ෂ කොට ඇතැ”යි පැවසී ය.

“මං මැරිලා හද කියයි!”

“සෑම දෙයක් මත ම මිළක් ලකුණු කොට ඇත. සෑම තීරණයකට ම, ඒ සා ප්‍රාමණ්‍ය වියදමක් ඇත්තේ ය.”

“ද්වන්ත සටනක මා නියැලෙම්! එය දේව කැමැත්ත නම් එසේ ම වේවා!! එසේ නොවේ නම්, සිත් සදා ගැනීමට අවශ්‍ය ශක්තිය දානය කරන සෙක් වා!!!”

“සියල්ල මම සමිඳුන්ට කැප කොට පුද කළෙමි. මට ම කියා දැන් දෙයක් ඉතිරී වී නැත. මයේ ජීවිත් වීම සමිඳුන් උදෙසා ය; මා අභිලාශය සමිඳුන් ගේ කැමැත්ත පමණක් ය.”

මගේ ලීවීම!


මා ලියන්නේ මට හිතෙන දේ ය. මට හිතෙන දේ ලියා
නොහිතන දේට පැටල වේ. හිතා හෝ නොහිතා කරන දෙයින්
අවසානයේ සිඳු වන්නේ සිත් වේඳනාව ඇතිවීම පමණි.
"ඒ හෙයින් මා තවත් ලිවිය යුතු ද?" මම මගෙන් අසමි.

සියුම් වත මියුරු විත හඬින් නිබඳ සැනහෙනා
ගැයුම් නැත වැයුම් ඇත බැලුම් සකිසඳ නැහැවෙනා
බිඟුම් විත රැඟුම් සිත දී සරසරින් හැඬවෙනා
තරම් සිත පියුම් ලෙද සසලිත වී නැළවෙනා

කවියක නිධානකතාව: “ප්‍රශ්නය”


පසුගිය දිනක මා මේ පිටුවේ සටහන් කළ කවියකට ලත් ප්‍රතිචාර දැකීමෙන් මේ සටහන ලියා තබන්නට සිත් වි ය. අපගේ ජීවිත‍යේ ලත් සිඳුවීම් වලින් අපි මනහර ලෙස අවට ලෝකය දෙස බලන්නට යොමු වෙමු. අපට ලැබී තිබෙන සීමිත ජීවිත දින ගණන හා ජීවත් විය යුතු ‍වර්තමානය දෙස බලන සොදුරු මිනිසෙකුට එහි වූ වින්දනාත්මක හෝ කේදනීය අවස්ථා රස විඳින්නට පුළුවන. මේ සියල්ල මෙහොතකින් පහව යන සුළු ය; ඒවා නැවත මුල් තත්ත්වයට පත් වෙන්නේ නැත. ගිය කාලය අතීතය යි. වරක් මා බුදු සමය පිළිබඳ අධ්‍යයනයක් කරන අවස්ථාවක සියල්ල දුක බව දැක්වීමට මෙවැනි නිදර්ශනයක් මම ඇසුවෙමි. අපට උෂ්ණය සීතල ලෙස අවස්ථා දෙකක් අත්දැකිය හැකි වූවත්, සැබෑ ලෙසින් සීතල ලෙස දකින්නේ උෂ්ණත්වයේ අඩු වීමකි. එනයින් සැප කියා අපට දැනෙන්නේ දුක තුනී වීමක් මිස දුක නැතිවීමක් නම් නොවේ. ඒ හෙයින්, දුක හෝ සැප (අඩු දුක) අත්දකින විට දී, අපට ඇතිවන අනුභූතින් හෙවත් අත්දැකීම් මනරම් සිතුවිලි ජනිත කරවයි. ඒ සිතුවිලි වරක තමුන්ගේ හෝ නැහොත් අනියමාර්ථ වශයෙන් අනුන් ගේ හෝ වේවා අපට තදනුභූති ලෙස උපේක්ෂාවෙන් භුක්ති විඳිය හැක. අතීතය පසුගියාවේ බොඳ සිහිනයක් නියාවෙන්, එහි ම ගැවසී සිටීමෙන් වර්තමානයට අරුතක් සොයා ගන්නට හෝ දෛනික දිවියට ඵලදායක වැඩක් වෙන්නේ නැත. ඒ ලෙසින් ම, මේ කවිය සඳහා පාදක වූවේ ද මාගේ අතීත අත්දැකිම කි; එහෙත් එය මගේ ම නොව, සත්‍ය වශයෙන් ම එය අනෙකු ගේ ය:

මා කැන්ටිම දෙසට ගමන් කරන විට, මා නෙත ගැසුනේ කෙළවරෙහි හිඳ ගෙන හුන් පුරුදු ගැහැණු රුවකි. ඈ බොල් අහස දෙස නෙත් පාකර හරිමින් සිටියා ය. ඈගේ තියුණු එහෙත් ශෝකී ඇස් අසීමාන්තික ලෙස අහසේ විවිධ දෙසට ගමන් කළේ ය. පෙනුමෙන් ඈ ඈත අතීතයේ සිතුවිලි ගොන්නක් තුළ අතරමං වී සිටිනා සේ ය. මා ඈ ඉදිරියට ම ගියේ ය; එහෙත් හුදකලාවේ අතරමං ව හුන්නා වූ ඈ අතීත ලොවින් නික්ම මා සිටින තත්‍ය ලෝකය වෙත ගමන් කරන්නට විරාමයක් ගත විණ. මා දුටු ඇගේ දෙනෙත් දීප්තිමත් වී, ක්‍රමයෙන් මොට වී දිප්තිය අදුරකට හැරීණ. ඇයගේ වත ද, මෙහොතකට සප්‍රාණික වී, ඒ සැනෙන් ම මුකුලිත වි ය. මා කිසිවක් නූන සේ ඇගෙන් සුව දුක් විචාරා සිටියේ ය. අසල වූ අසුන ඇද, ඇයට ප්‍රතිවිරුද්ධ දෙසින් මා හිඳ ගත්තේ ය. එහෙත් ඈ සිත තුළ ගුලි කර ගත් ‍දුකෙන් යුක්ත ව, සිතට දිරි ගෙන මා හා කතා කළා ය.

ඇයගේ පියමං මා දිවි ගමන හා සබැදුනේ අහම්බෙන් මෙන් ය. එය මා තවෙකුට ලියූ ලිපියක් ඇයට ලැබීමෙන් ය. ඈ ද එය අහම්බෙන් හමු වූවක් නිසා, ඕනෑවට එපාවට ඒ දෙස නෙත යොමු කළා ය. එහෙත් නොසිතූ ලෙසින් ඒ කොළයේ සිත්තම් කර තිබූ අදහස් ඇගේ හදවත විනිවිඳ යන මල්හීසර මෙන් විය. මේ ලිපියේ රචකයා කවුදැයි ඈ තුළ වූ කුකුස මා වෙත ඇය යොමු කළා ය. මා ද ඒ වන විට, එක් පෙමකට සමු දී, විප්‍රයොගයෙන් යුක්ත ව සිටියේ ය. එ බැවින් මම දුක් තුනී කරනු වස්, මගේ ම ලොවක හුදකලා වීමට හුරු පුරුදු වී හුන්නෙමි. විශ්වවිද්‍යාලයේ කටයුතු, දේශන අවසන් වූ සැනින් මා වෙනෙකෙකු සමඟ වචන හුවමාරුවක තබා, හුන් පුටුව ට ද නොකියා ම දේශන ශාලාවෙන් නික්ම ගියේ ය. මේ පුරුද්ද නිසා, මනස්කාන්ත ලිපියේ වචන සිත්තම් කළ මිනිසා, සැබවින් ම සිත් ඇද ගන්නා සුළු අයෙකු දැයි ඈට සැකයක් මතු විය. කල් යත් ම, කාලයා විසින් ඇගේ සකල සැකසංකා අකා මකා දැමීමත් සමඟ ක්‍රමයෙන් වැදුණු මල්හීසර ඈ හදවත තුළ ලියලා දළු ලා නැගෙන්නට වි ය. කෙසේ හෝ මේ ‍කාලයේ ඈ මා හා ලෙන්ගතුකම් ඇති කර ගැනීමට උත්සුක වූවා ය.

දිනක් චිත්ත ශක්තියෙන් හීන ව සිටි මොහොතක ඈ ගැනත්, ඇයගේ යෝජනාව ගැනත් සිතන්ට විය. මේ සිතීම කෙළවර වූයේ ඇයට මා විසින් අවස්ථාවක් දිය යුතු යයි හටගත් අදහසකින් ය. ඒ හෙයින් මා ඇයට කතා කොට, කැමැත්ත පළ කර සිටියේ ය.

ඒ වචන ඇසූ සැනින්, අවුරුදු ගණනාවක නියංසායක් තිබූ භූමියකට අකලට අහම්බෙන් වැටුණු වර්ෂාවක් මෙන්, කාන්තිය සැලී, ප්‍රාණයෙන් ගැසී, අපේක්ෂාවෙන් තැති ගෙන, අමුතු ජීවයක් උපන්නේ ය.

අලුත වැටුණු වර්ෂාවෙන් තෙමුණු, නියංසායෙන් හෙම්බත් පොළොවෙන් විවිධ කෘමිහු ද සතුන් ද මතු වෙති. වැසිදිය ගැලූ ගැලූ අත දියෙහි ඇඟිලි තුඩෙන් තෙත් පොළොව සූරා වැහි ලකුණු තබා ඇත. දිය දොරේ ගලා ගොස් තැන තැන ඇති වූ දිය කඩිතිවල රොක් වන ගෙම්බන් ද මැඩියන් ද වැඩෙන රාත්‍රියේ සීතලය සමඟ තාලෙන් තාලෙට පානා අඬහැරය ආගන්තුක හැඟීම් අවදි කරවයි. පළගැටියෝ ද රැහැයියෝ ද ඇති වූ ප්‍රබෝදයෙන් කුල්මත් ව, ඒ අඬහැරියට අතවැල් අල්ලමින් සංගීතය සපයති. ඉදහිට තාලයට වයන්න, ගායනා කරන්නට බැරි අනෙකෙක් අඬහැරයත්, අත්වැලත් බිඳ තම බෙලෙක් හඬින් හෝ අසංවර වාදනයෙන් පළාත දෙවනත් කරයි. වැසි වැටුණු රාත්‍රී පරිසරය සිසිල් ය; සුකොමල ය; ප්‍රාණවත් ය; ක්‍රියාකාරී ය.

උදෑසන හිරු පොළොව සිඹිද්දී, වැස්සෙන් තෙමුණු අතු අග රැදී දිය බිඳු ද, මකුළු දැල් මත රැදී පිණි බිඳු ද දිලෙන හිරු රැසින් දෙදුණු කාන්ති මවයි. රාත්‍රියේ වැටුණු දියෙන් ප්‍රාණවත් වූ පසුගිය කන්නයේ හැළුණු බීජ, කල් යල් බලා කිරිමුල පොළොවට ගසා, දෙපෙත්ත රැදි හිස ඔසවා තබාගන්නට ආයාසයෙන් තැත් කරයි. උදෑසන හිරු වැටෙද්දී ම තැන තැන සලිත වන සතුන් විගසින් උනුන්ගේ කැදලිවලට ඇදී සැඟ වේ. පොළොව තෙත ය; බුරුල් ය; මොලොක් ය; සජීවි ය; සසල ය.

එහෙත් පොළොව ද සතුන් ද ගස් වැල් ද අමතක කරන්නේ, මේ වැටී පොළොව සශ්‍රික කරන බලාපොරොත්තු දෙන්නේ අකලට අහබෙන් වැටුණු වැස්සක් බව ය. දවාල පැමිණේ; රාත්‍රිය එළැඹේ. තප්පර මිනිත්තු බවටත්, මිනිත්තු පැය බවටත්, පැය දින බවටත් පත් වුව ද, පෙර දින වැටුණ වැහි නැවත වැටෙන්නේ නැත. කලට වැටෙන වැහි මිස අකලට වැටෙන වැසි විශ්වාස නොකට යුතු ය. ටික දොහකින් පොළොව උෂ්ණයෙන් දැවි දැවී, රළු ව තද වී, සුපුරුදු සේ අජිවී අප්‍රාණික වනු ඇත; එය එසේ ‍පාළු වී බොල් වී යනු ඇත. මෙතෙක් ක්‍රියාකාරී උනුන් අක්‍රීය වෙයි; අඩහැරය ද, සංගීතය ද, ඝෝෂක හඬ ද ගොළු වෙයි; සසල සියල්ල උදාසීන වී අලස ව නිසල ‍වෙයි.

ගත වූයේ දිනකි; දෙක කි; තුන කි. ඇයගේ හැසිරීම් හා වචන මට නුහුරු නුපුරුදු විය; ඒවා රුස්සන්නේ නැති තැනට වැඩ කටයුතු යෙදුනේ ය. පැහැදිලි ලෙස දෙදෙනාගේ වෙනස මතු වී, මොරන හිඩැසක් සේ වැඩිණි. තවත් තවත් ඇළුම්කම් පෑම, සෙනහස දැක් වීම මහා මුළාවක් බවට පත් විය. දෙදෙනා අවසානයේ වෙන් වී ඒ ඒ රිසි මාර්ගයන්හි ගිය හ.

දිය නියෙන් තෙත් පොළොවෙහි ඇදී වැහි ලකුණු, වැසි නොවැටී වියළුණු කාෂ්ඨක පොළොව මත කාලයක් පවතින්නා සේ ම, ආදරයේ ආපේක්ෂාවන් බිඳි අයගේ හදවත් කොණෙහි ද අතීත දුක්සංකා රැදී නැතුවා ම නො‍වේ. කාලය නැමති සුළං හමා වැලි මත වූ වැහි ලකුණු මකා දමනා තුරු ඒ දුක්සංකාවෝ දිගු කලක් පවති.

තේ වඩිය අවසාන වී, අප සමු ගන්නා මොහොත පැමිණි විට, ඇගේ මිලාන වූ මුහුණ දිටි මම, “ඇයි! මොනවා හරි ප්‍රශ්නයක් ද?” ලෙන්ගතු ව ඇසීමි. ඈ දුර්වර්ණ වූ මුහුණින් යුතු ව නිහඬ ව මා දෙස බලා හුන්නා පමණි. ඈ ආයාසයෙන් දුක සඟවා සිනා සෙන්නට උත්සහ කළත්, ඒ සමඟ ම ඇගේ ඇස් කෙළවරේ උණු කඳුළු මතු විණ. ඒ මහා නිහැඩියාව බිඳීමින් මා හා කවදත් මිතුරු ඇගේ ඇස් ශබ්ද නඟා මට කතා කොට, “කෙසේ කියම් ද මම්. . .ඔබයි මා ප්‍රශ්නය බව. . .”’යි කී ය.

දැන් ඉතිං මට දොස් නොනඟා මේ කවිය නැවත කියවා බලන්න:

අසරණ ව උන්නෙමි බලා හිස් අහස දෙස

සපැමිණ ඔබ දුක් වැඩි කරනු මිස

හිඳ සුවදුක් විමසනු

කිසිවක් නූන ලෙස

මා හද වේඳනා වෝ ඉපිලි ඉපිලී

උණු කඳුළු උණයි දෑසට

කෙසේ කියම් ද මම්

ඔබයි මා ප්‍රශ්නය බව. . .

ප්‍රශ්නය


අසරණ ව උන්නෙමි බලා හිස් අහස දෙස

සපැමිණ ඔබ දුක් වැඩි කරනු මිස

හිඳ සුවදුක් විමසනු

කිසිවක් නූන ලෙස

මා හද වේඳනා වෝ ඉපිලි ඉපිලී

උණු කඳුළු උණයි දෑසට

කෙසේ කියම් ද මම්

ඔබයි මා ප්‍රශ්නය බව. . .

සිහිනය


මා සිත් ගත් රුවැත්තිය දෙස

ලොවට හොරා බලම්

පිරුණු දිළෙන දැසින් ඈ දෙස

කෙතරම් පෙරුම් පිරුවත්

නිබද සිහිනයකි ඔබ මට. . .

ඔබ කවුරුදෝ?


දිගු ගමන් බස් රියක
රැදී හුන්නෙමි අසුන් කොණ
ඒ අසල ගැටිස්සියෝ
කිචි බිචියේ ඔපාදුපයෙන්
අසුන් සහන් මැද
සුවසේ නිදනා විට දී
ලිපිනය ලියූ
ගුලි කළ බස් ටිකට්ටුවක්
මා සාක්කුව වෙත
හොරින් දැමූ,
ඔබ කවුරු දෝ?

අතීත සැමරුම්: ආදරය මත ආදරය


සුපුරුදු පරිදි මා ඇයට විහිලු තහලු කරමින් සිටියේ ය. සමහර විටක ඒවා සිත් කිහිරි දනවන හා පාරන සුළු විය. හදිස්සියේ ම ඈ මා නොසිතු මොහොතක, ඇය කමින් සිටි ආහරයෙන් බත් පිඬක් ගෙන මා හට කවන සේ අත දිගුකර හිස සැලී ය. මා ද, කට ඇර ඒ පිළි ගත්තේ ඇයගේ මුහුණ දෙස ඇසි පිය නොහෙළා බලා හිඳිමින් ය. "ඇගේ මුහුණේ සහ දෑස මත කිසිදා නොදුටු ගැඹුරු ළෙන්ගතු කමක් සහිත ආදරයක් ගැබ්වී තිබුණේ ය. ඇය මට ආහාර වෙලෙන් කටක් කැව්වේ මන්ද?" මා සිත මගෙන් ම අසන්නට විය. ඇගේ ‍සිතේ ආදර මල් කැකුළක්වත් විකසිතවීදැයි සිතා ගැනීමට නොහැකිවිය. ඇය නිතර නිතර මාහට කරන සැලකිලි ගැන අවධාරණයෙන් කල්පනා කළෙමි.

පසු දිනක පංති අහවර වන මොහොතක, අයිස් ක්‍රීම් කන්නට ආරාධනා කළෙමි. ඇගේ දැස් දීප්තියෙන් බැබෙලෙන්නට විය. ඈ සිනහවක් මුව සරසා, යම්තමට වාගේ හිස සැලී ය. ඇය සමඟ මා කැන්ටිම වෙත පියමං කළේ ය. මා ඈ කැමති වර්ගයේ අයිස් ක්‍රීම් වර්ගය මිළ දී ගෙන, මා කැමති චොකලට් වර්ගයේ අයිස්ක්‍රීම් එකක් ද රැගෙන ඈත කොණක ඈ සමඟ වාඩි ගත්තේ ය. ඇය වරින් වර, අයිස් ක්‍රීම් රස බලන ගමන් වාගේ මා දෙස ද බලා හුන්නා ය. ඇගේ දැස් ඉතාමත් අලංකාර ය; ගැඹුරු ය. ඒ කාන්තිමත් දෙනෙත් හෙළු මට එයින් මුළු ලෝකය ම පෙන්නා සේ හැඟීමක් ඇති විණ. කිසිදාක මා ඇය මෙතරම් මනස්කාන්න ලෙස දැක නැත. තුරු සෙවන, වරින් වර ගස්පීරා වැටෙන හිරු එළිය, ගතේ දැවටී, කෙස් පීරා හමන මද සුළඟ මේ මොහොත තවත් සොඳුරු කළා සේ ය. අප දෙදෙන අයිස් ක්‍රීම් ලෙව කකා නිහඬ ව දෙදෙනා දෙස බලමින් හුන්නේ ය; එය දිගු නිහැඬියාවකි. ‍මුළු ලෝකය ම එක වර නතර වුනා වැනි. . .

"ඇයි එදා මට කැව්වේ, කෙල්ලට ආදරයක් වත් හිතුන ද?" දැඩි නිහැඬියාව බිඳිමින් මා ඇසුවේ ය. ඇය නොසිතූ මොහොතක, මා එල්ල කළ ප්‍රශ්නයෙන් වික්ෂිප්ත වූ ඈ, හැඟුම් බර ආදරයසිනහවක් පා ආලෝකමත් දෙනෙතෙන් ද, රතු වූ දෙකොපුලෙන් ද, ලැජ්ජාවෙන් බිම බලා ගත්තා ය. මා ඇය දෙස බලා හුන් අතම බලා හුන්නේ ය.

"ඔයා මට ආදරේ ද?" මා ඇසුවේ ය. රතු වූ මුහුණින් යුතු ව ඈ, අපහසුතාවයෙන් දෙවරක් හිස සැලී ය. ඇගේ කන්පෙති පුපුරු ගසා යන සේ රතු වර්ණ ව තිබිණ. "මේ බලන්න, මම ඔයා දන්න දවසේ ඉදන් කළේ හිත රිදෙන විහිළු; ඉතිං කොහොම ද මට ආදරය ක‍රන්නේ?" අවුල් වූ මනසකින් යුතු මා ඇයගෙන් ඇසුවේ ය.

"ඔයා මොනව කළත්, හිත යටින් හොඳ කෙනෙක් කියලා මම දන්නවා!" "ඔයාගේ විහිලු . . . තදින් කතා කරන්නේ ඔයාට ඒක හුරු නිස යි!" "ඉතිං මං ඒවා ගනන් ගත්තේ නැහැ" ඈ මෘදු ලෙස පිළිතුරු දුන්නා ය.

මා කරබාගෙන අසා සිටියා පමණි.

"මම ආදරයට ගොඩක් ගරු කරන කෙනෙක; ඔයා මට ඇත්තට ම ආදරේ නම්, මා ද පෙරලා ආදරය කරනවා!" "මං අයේ කවාදාවත් හිත රිදෙන විහිළු කරන්නේ නැහැ" ඈ දෙස එක එල්ලේ බලා ගෙන ම කිව්වෙමි. ඈ තවමත් බිම දෙසට තෙ යොමා ගෙන සාවධාන ව අසා ගෙන සිටියා ය.

මම නැගිට ඈ දෙසට අත දිගු කළෙමි. මා දෙස බලා, ඈ ද ඇගේ අත මා දෙසට යොමු කළා ය. ඇගේ අතින් මා තදින් අල්වා ගෙන හිරු බැස යන ඒ සවස් යාමයේ පොපියන අදුර අප වට කරද්දී, ඇය සමඟ අනන්තයට ඇවිද ගියෙමි.

බැල්ම


සියක් දහසක් සිතුම් මැද
පොතක් දෙස බලමින්
ගාටන ඔබ දෙස
බැලූ බැල්ම
තද වැඩි දෝ මට සිතේ. . .

මා කළේ විහිළුවකි
නැත කියන් අමනාප. . .

හිත තැලුනි - රිදුනි නම්
මට සමා වෙයන් නගේ. . .

(26/10/2005)

නිවාඩු කැන්සල්, එනිසා නිහඬ යි!

මේ දිනවල ලංකාවට ගොඩ බැහැලා අත මිට පිරෙන්නට වැඩ. හුස්ම ගන්න තරමට වත් වෙලාවක් ලැබුනේ නැහැ. අවුරුදු දෙකක වැඩවල අනුපූරණය කිරීමට ඇති ප්‍රමාණය සිතා ගන්නටවත් බැහැ. කෙසේ වෙතත් විවේකයක් ලැබුණු සැනින් යමක් සටහන් කරන්නන්. මේ සටහන ලීවේ අපේ රවා සහෝදරයාගේ සටහනක් දුටු නිස යි. ඇමරිකාවේ ශිෂ්‍ය දිවිය වගේ ලංකාවේ නම් විවේකයක් සොයා ගන්නට හරිම අමාරු යි. කෙසේ වෙතත් ඉදහිට මා බස් නැවතුවේ සිටිනා විට හෝ බස්රියේ ගමන් කරන විට ඒහේ මෙහේ දුවන හිතේ සිතුවිලි හෝ කඩයකට ගොඩ වී වඩයක් කන ගමන් අවට බලා දකින දෙයින් සතුටු වන්න; ආස්වාදයක් ලබන්න; මිහිරක් විඳින්න නම් අමතක කළේ නැහැ. තණ ‍කොළ බිස්සක් මත ඇවිදින්න, ගසක සිසිල් සෙවනේ හුළං පොදක සිසිල ලබන්න, කුඹුරක නියරක සිට ගොයම් නලවාගෙන එන මදනල සුවඳ බලන්න, සීතල ම සීතල වතුර පොදක් ළිදෙන් ඇද බොන්න, සෑමදාම උදෑසන කුරුළු ගී නාදෙන් නැගිට, ජනේලයෙන් ගෙයි මායිමේ දවට ගසට මුවා වී ඔච්චම් කරන හිරු දිහා බලන්න තරම් වාසනාවක්, ලංකාවේ මිස කොයි රටේ ඇද්ද?