ඉවසාපන් උඹ!


බඩගිනියි නහුතයට ම

සිතලයි මේ වැසි රාත්‍රිය

අඳුර දවා දැල්වෙන පහනක්

මා ඉදිරියේ රතු කමිසකරුවෙක්

බෙදයි තැම්බූ කඩල මුදලට


කඩලේ. . . කඩලේ. . . කඩලේ. . .

කෑගසයි ඔහු අත සීනුව

බඩගිනියෝ. . . බඩගිනියෝ. . . බඩගිනියෝ. . .

හඬයි දුකින් මා කුස

පෙරළෙයි ඒ මේ අත. . .


කුමක් කරන්න ද?

මා අත මුදල් නැත


ඉවසාපන් උඹ

ඉවසාපන් මයේ රත්තරන්

ඉවසාපන් අම්මා

ඉවසාපන් මයේ පණ

ඉවසාපන් බඩ!

වෙනස

ඡයාරූපයක් මගින් ලියූ කවියකට අරුත සම්පූර්ණයෙන් වෙනස් වෙයි. මා කලින් ලියූ කවියකට මේ ඡයාරූපය ඇතුලු කළ විට එහි අදහස සම්පූර්ණයෙන් වෙනස් වේ. දැන් නැවත පහත දක්වා ඇති කවිය කියවා ඡයාරූපය හා සසඳා බලන්න:


ඔය ලෙන්ගතු මුහුණ

ලයාන්විත, අහිංසක බැල්ම

මා සුසුමෙන් පුරවයි. . .

අනේ!



ඔය ලෙන්ගතු මුහුණ

ලයාන්විත, අහිංසක බැල්ම

මා සුසුමෙන් පුරවයි. . .

මගේ කවි ලියීම ගැන. . .


“මළ දළු ලියලා

හරිත කොට අතු අග

දසත තෙත් වී

ගිම්හානය නිම කොට

වස්සානය පැමිණේ!”

__

෴මගේ කව් ලීයීම ගැන වදනක්෴

මා ලියන කව් කෙටි ය. සමහරු ඒ ගැන මගෙන් විමසා තිබේ. ඒ හෙයින් මා කව් ලියනා ආර ගැන යමක් පැවසිය යුතුය යි හඟිමි. කලින් දැක් වූ පරිදි මගේ කවි ලිවීම ආරම්භ වූයේ සිත් ගත් ලියකට ආදරය කිරීමට පටන් ගත්ඳා පටන් ය. එහෙත් මාගේ කෘති ප්‍රේමයට හෝ විරහවට පමණක් ලඝු නොවේ; මාගේ නිර්මාණයන් ජනිත වන්නේ සංකීර්ණ චිත්ත සංකල්පනාවන් රාශියකගේ ගේ ඝට්ටනයන් සහ දර්ශනීය දැක්මක් හේතු කොට ය. එය මෙසේ ය:

මගේ කාව්‍ය සඳහා පාදක වන්නේ මගේ ම ජීවන දෘෂ්ටිය යි. ඒ ජීවන දෘෂ්ටියට අන්තර්ග්‍රහණය වන්නේ එදිනෙදා ජීවිතයේ සොඳුරු ඇස ගිය තැන්ය. මගේ කවි මුලික වශයෙන් සංශිප්ත ජපන් “හයිකු” කව් ආරක් ගත්ත ද, ඒ කව්‍යයන් මෙන් විෂ්පොඨ නැත; ස්වභාව ධර්මයේ හෝ වචනවල ඇති උභතෝකොටිකයන් එයින් මතු කොට නැත.

මගේ කවිවල ඇත්තේ ජීවිත යයි. ජීවිතය දුක් කම්කටොලුවලින්, දුක්කදෝමනස්සයන්ගෙන් ගහන ය. එලෙස දුකෙහි පැවතිම පිළිබඳ ආගමික වශයෙන් හේතුන්ගේ වෙනසක් වෙයි. කවර හේතු ප්‍රත්‍යක් අරා දුක් හට ගත්ත ද, අපට ජීවත් වන්න ඇත්තේ ලැබී ඇති ලුහුඩු දින ගණනක් ය. ඒ උපතත් මරණයත් අතර ය. එනයින් මගේ කව් සංශිපත ය, ඒ ජීවිතයකෙටි මෙන් කවි ද කෙටි ය. සමහරක පෙළ දිග ය; සමහර පෙළ කෙටි ය. ජීවිතයත් එකඳු සමාන නැත; උස් ය; මිටි ය; අවිනිශ්චිත ය; අසම්භාවි ය. ජීවිතයේ සිඳුවීම් විටක දිගු ය; විටක කෙටි ය.

මගේ බොහෝ කව්වල එළිවැටත් හෙවත් සදැස් නැත; මගේ කවිවල ඇත්තේ නිසදැස් ය. එයින් ජීවිතයේ කවර පිළිවෙලක් වත් නැති බව විද්‍යමාන කර යි. අපට පෙනෙන ජීවිතය සඳහා පැහැදිලි අරුතක් නැත. ඉතිහාසයට අරුතක් දෙන්නෙකු සිටිය යුතු නමුදු ඉතිහාසට අපේ මනුෂ්‍ය දැක්මෙන් අරුතක් නැත. අරුතක් නැති ඉතිහාසයක පිළිවෙලක් ද නොහේ. ඒ හෙයින් ජීවිතය අස්තිරය: අවිනිශ්‍ය ය; නිත්‍ය නැති. එනයින් ජීවිතය ජීවත් වීමට සහ තුටු වීමට නොසැලීම හා උපේක්ෂාව අවශ්‍යය. නොසැලෙන දැක්මකින් සමබරතාව ඇති ව ජීවිත ලෙස බැලිය යුතුය. අරුත් නැති ලොවක අරුතක් ඇති ව ජීවත් වීම උගහට ය. ඒ සඳහා සංයමයක් අවශ්‍ය ය; සියුම් දැක්මක් අවශ්‍ය වෙයි.

ජීවිතය ඇත්‍තේ රිසි සේ සොම්නසින් ජීවත් වීමට මිස, ජීවිතය විසි කරන අභියෝගයන්ගෙන් වික්ෂිප්ත වන්නට නොවේ. අප කැමති වුවද, නැති ද, නියමිත දින ගණන ජීවත්විය යුතු ය. නැතහොත් ස්වඝාතනයෙන් මැරිය යුතු ය. මෙවැනි දැක්මක් නිශේධනීය හෙවත් ඍණාත්මක ය. එවැන් ජීවිතයක් ජීවත් වන්නේ කුමකට ද? ජීවත්වනවා නම් ජීවිතය දෙස සාධනීය දැක්මක් හෙලීය යුතු වෙයි. මැරුණු ජීවත් විමක් හෙවත් මළ ජීවත් වීමක් පතන්නේ කවරෙක් ද? එයට වඩා දිවි තොර කර ගැනීම යහපති. ඒ හෙයින් දුක් සහිත මේ කෙටි ජීවිතය දෙස සර්වසුබවාදී ලෙස බැලීමට ගත් ප්‍රයත්නයකි මගේ රචනය සහ කාව්‍ය නිර්මාණ ය. මෙනයින් මගේ පැතුම ද, තිර අධිෂ්ඨානය ද නම් කුමකින්, කවරකින් පැරදුණත් ජීවිතයෙන් නොපැරදිය යුතු බව ය. පුර්ණ ජීවිතයක් ගත කොට, මනා සේ තෘප්තිමත් මරණයක අපේක්ෂාව මගේ හද ගැඹරේ වූ පැතුම යි. මේ කවි ප්‍රතිධ්වනීය කරන්නේ ඒ අභිලාශය ම ය. මා දකිනා ලෙස ජීවිතය දෙස සොදුරු ලෙස බලා, තුටු සිතින් වින්දනය ලබන්නට ඔබට මේ කවි හේතු භූත වේවායි මා පැති ම෴

යුවතියක් නිසා ලියූ කව්: හමුවීම


ඉළ ඇට ශරීරයේ වැදගත් සහ ජීවිය පවත්වා ගැනීම සඳහා වටිනා වූ අවයව ආරක්ෂා කරමින් පවති. ඒ ඉළ ඇට මනුෂ්‍ය ප්‍රාණය පවත්වා ගැනීම සඳහා අවශ්‍ය හුස්ම ගැනීම සඳහා අවකාශ සැලසීමට තරම් ඒ ඇට නම්‍යශිලී ය. බයිබලයේ සඳහන් වන පරිදි ස්ත්‍රිය දෙවියන් වහන්සේ මවන ලද්දේ පළමු මනුෂ්‍යයාගේ ඉළ ඇටයක් රැගෙන ය. එනයින් එදා මැදපෙරදිග සංස්කෘතික දැක්මට අනුව කාන්තාව භාණ්ඩක් හෝ තමුන්ට අයිති තවත් වහලෙකු මට්ටමේ ලා නොතබා, මනුෂ්‍යයාගේ ම කොටසක් සහ පිරිමියා හා සමාන, සම ස්ථානයෙන් මවන ලදිදක් බව දක්වන ලදී. පහත කවි සිතු විල්ල ලියැවුණේ දෙවියන් වහන්සේ විසින් සෑම අයෙකු සඳහා ම නිර්මිත සහකාරියක් හෝ සහකරුවෙකු ඇතයි යන සංකල්පයෙන් ය. ‍ප්‍රේමයෙන් වෙලෙන දෙදෙනෙකු ඔවුන් ගේ හමු වීම දක්න්නේ දෙවියන් එකතු කළ දෙයක් ලෙසින් ය:

නගේ කිම පමා හද මයේ දෙස නැතුවා දෝ

රගේ ඇති බැල්ම සැමදාමත් පවතී දෝ

වගේ පෙම් කුසුම මා හද මඬලේ පිපිලා දෝ

මගේ ඉළ ඇටය අද දින මට හමු වී දෝ

යුවතියක් නිසා ලියූ කව්: අනන්තය


අවසර ලැබේ දෝ නොලැබේ දෝ

හද කිලිපොලා හඬා වැටේ

එනමුත් හමුවන සෑම මොහොතක

මුළු ලොව ම අමතක වී ගොසින්

දැවටි දැවටි මිහිරි තෙපුලෙන්

මංමත්වේ. . . හදවත පිරේ

අත්වැල් තදින් අල්ලා ලා

ඇවිද යමු ඈත අනන්තයට. . .

යුවතියක් නිසා ලියූ කව්: ඈ නිසාවෙන්


කිටි කිටියේ ඉපිළ හදින්

අභිමුව සිටියෙමි කිසිවක් නොවූන සේ

ඇගේ පියා වෙත කෙලෙසින් පවසම් දෝ. . .

හිත පුරාවට ඇති පෙමට

අවසර ද? බැණ වැදීමක් ද?

දියෙන් ගොඩ ලූ මසෙකු සේ

මා සිත් සැලේ. . .

යුවතියක් නිසා ලියූ කව්: ඒ රුව


මේ සපැමිණෙන්නේ නව අධ්‍යයන වාරය යි. වැඩ ගොඩ වී ටික කලකට රසෝඝයේ මිහිර අඩපන වන්නට පුළුවන. ඒ කෙසේ වෙතත්, මාගේ දින පොතෙහි වසර ගණනාවකට පෙර සටහන් කළ කවි කිහිපයක් මේ තේමාව යටතේ දක්වන්නට කැමැත්තෙමි. මගේ මිතුරෙක් දවසක් මා කළ චෝදනාවකට දුන් පිළිතුරකින් මේ කවි උපත ලැබී ය. දිනක් මා ඒ මිතුරාට පැවසුවේ, අසාර්ථක නිර්මානයන් ගෙන් හෙම්බත් ව සිටි මට කවි ලියන්නට ක්‍රමයක් කියා දෙන ලෙස ය. ඔහු දුන් පිළිතුර වූයේ, "ආදරය කරන්න පටන් ගන්න එවිට කවි ලියවේවි" යන්න යි. මම ඔහුගේ උපදෙස් පරිදි ආදරය කරන්නට පටන් ගත්තෙමි. මා මවිත කරමින්, වැසී තිවූ දොර කවුළු විවෘති වී කවි ලිවිමේ හැකියාවක් ඇති විය. ඒ මගේ සොදුරු කව් ලිවීමේ ආරම්භය යි. මා ආදරය කළ කන්තාව දැන් විවාහ වී ඇති බැවින් ඈ ගැන සඳහන් නොකරමි; සමහර විට ඈද මා මෙ කවි ලියූ බව නොදන්නවා විය හැකි ය. ඈට මා කව් කිහිපයක් පෙන්නුවා යම්තම් මතක ය. එහෙත් ඇගේ සුන්දර ප්‍රේමය මගේ ජීවිතයේ මා විසින් අතැර තිබූ සොදුරු තැනක් විවර කර ලී ය. මේ රසෝඝයේ පළ වෙන්නේ ඈ නිසා ලියවූණු කවි රාශියකි. එතැන් පසු ජීවිතයේ හමු වූ විවිධ අයෝ ද තවතවත් ඒ ගුණය තිව්‍ර කළ හ. වසර ගණනාවකට පෙර ඔබ දුන් අගනා උපදේසට ස්තූතියි මා මිතුරු "විහසිත" සහෘදයාණනි෴


එයිදෝ නොඑයි දෝ සරතැසින්

සිතමුසපත් වී, අපේක්ෂා බිඳ වැටේ

අහස වැහි වළාවෙන් වැසි යයි. . .

එවිට දී, අන්න එවිට දී,

මා නෙතු සහන් සැනසූ රුව

ඈතින් දිටිම්. . .

ඝන අදුරු බිඳ නැඟුණු හිරු සේ. . .

මන්ද’යයි අසමි මම


දුටිම් මා ලෙන්ගතු රුවක් අද

හිමිසඳ සමඟ අත්වැල් දවටා

දැවටි දැවටි පියකරු සුරතල් කැන්ඳා

‍දරු තිදෙනෙක් පසු පස යන්නා. . .


දිටි විට මේ සිඟිති පවුල

විමසයි යමක් මා හිත යට සිට:

“මා සිත් ගත් ලියෝ මන් ද?

මා හැර අනෙකුන් අතිනත් ගන්නේ. . .”

දින පොතෙන් ගත් කුරුටු සටහන්

ජුදෙව් සම්ප්‍රදායට අනුව දරුවෙකු ආගමික මුල පිරීම සිඳු කරන්නේ වයස අවුරුදු දාසය දී ටොරාව (ජුදෙව් ශුද්ධ ලියවිල්ලේ ව්‍යවස්ථාව) ප්‍රසිද්ධියේ සජ්ඣායනා කිරීමෙන් ය. එම අවසථාවට එළැඹි දරුවන් ව්‍යවස්ථාවේ ප්‍රත්‍රයා හෙවත් “බේන් මිෂ්ෆට්” ලෙසින් හඳුන්වයි. එහෙත් ජුදෙව් සමාජ සම්ප්‍රදායට අනුව, දරුවෙකු පූර්ණ මිනිසෙකු වන්නේ වයස තිසිවිය සපිරුණ විට දී ය. එවිට ජුදෙව් තරුණයකු සමාජයේ වැඩිහිටියකු වශයෙන් ක්‍රියා කිරීමටත්, පිළි ගැනීමටත් ලක් වෙයි. වයස තිස්වියට එළඹිම සමඟ ජීවිතය පිළිබඳ ගැඹුරු ආවර්ජනයට එළඹීම මා ජීවිතයේ කැපිපෙනෙන මං ලකුණක් සටහන් කරන්නක් විණ. එය ළදරු වියෙන් තරුණ වියට, තරුණ වියෙන් පරිනත දිවියට නැං වූ උපනයනය යි. පහත උපුටා දක්වා ඇත්තේ මා තිස් විය සපිරීම සමඟ ජීවිතය දෙස කළ අවධානාත්මක දැක්ම යි. දිනපොත විනාශ වී අදහස් බොඳ වී ගියත් එය සයිබර් අවකාශයේ සදා රැදෙනු පිණිස මෙසේ මා ඒ අදහස් සටහන් කොට තබන්නෙමි෴

“ජීවිතයේ ඇති මහත් ම ප්‍රේහෙලිකාව මරණය යි. විවාහ වී දරුවන් හදා, පිටරට ගොස් මුදල් එකතු කොට, නිවෙස් තනා දරුවන් උස් මහත් කොට, විභාග සමත් කරවා, රැකියාවන් ට මුහුණ දී, විවාහ දක්වා රැක බලා, කටයුතු කොට අවසානයේ දී මරණය භූක්ති විඳි යි.”

“ජීවත් වීම හා ජීවිතය වනාහි දේව වරප්‍රසාදයකි. එය කෙතරම් කෙටි ද යන්න වටහා ගැනීම සඳහා දරුණු මාරාන්තික රෝගයක් වැළදිය යුතු ය. කිතුනුවන්ට ඇති එකම වටිනාකම වන්නේ අපගේ බලාපොරොත්තුව පාරම්මරණිය වන බැවිනි.”

“ආගම වූ කලි ජීවිතය හා ක්‍රියාකාරී ලෙස සම්පර්කනය වන්නේ මරණය සමඟින් ය. එයත් මරණයේ අවසාන කටයුතු අළලා සිඳුවන අභිචාර චාරිත්‍රයන්ට පමණක් සීමා වෙයි. එහෙත් කිතු දහම උපතේ සිට මරණය දක්වා විවිධ අවස්ථාවන්හි දී ජීවිතයට, ජීවිත ගමනට සමීප වෙයි. එනයින් කිතු දහම සමාජීය ආගමකි.”

“යමෙකුගේ ක්‍රියාවේ ප්‍රතිපලය ව්‍යසනයක් නම් එකී ක්‍රියාව දෙස නොව, එය කළ හා එය සඳහා තුඩුදුන් ආකල්පය මත බලන්න. බොහෝ විට එය ප්‍රේමයේ සෙනහසේ හෝ සද්භාවයේ ආකල්පයක් විය හැකි ය. එනයින් ක්‍රියාවට වඩා ආකල්පය විමසා බලනු මැනවි.”

“අදහන්නන්ට පමණක් කීකරු විය හැකි ය; එසේ ම කීකරු විය හැක්කේ ද අදහන්නන්ට ම පමණි.”

“අසල්වාසියකු වීම ක්‍රියාවක් නොව, සංකලපයකි. එම සංකල්පයේ අඩංගු වන්නේ චර්යාත්මක, මනෝමූලාත්මක පදනමකි. එබැවින් අසල්වාසියකු වීම හෝ නොවීම කෙනෙකුට සිඳු කළ හැකි ය.”

“සෑම සත්ත්වයෙක් ම ප්‍රේමයන් වෙළුණු විට අතිශයින් ම අලංකාර වෙයි. එය ලොවේ සොඳුරු ම මිනිසුන්ගේ පවතින නිත්‍ය ආලංකාරකය යි. ප්‍රේමය වනාහි පරිපූර්ණ හදවතිකින්, කොන්දෙසි විරහිත ලෙස, අනවශේෂ ව, පරාර්ථයෙන්, සම්පූර්ණ ලෙස දානය කළ යුත්තකි.”

“ඇය සවිමත් ය; මට ශක්තිය දීමට පුළුවන. ඇය බලවත් ය; මට රැදෙනු පුළුවන ය. ඇය උණුසුම් ය; දිවි පහන් කරනු පුළුවන් ය. ස්ථිර වචනයක් ලදමි. අද අලංකාර ය; අපුර්ව ය; අචලිත ය; ස්ථිර ය!”

“ප්‍රේමය වනාහි සුව නොවන හිත් අමාරුවකි.”

“මිනිසෙකු තවකෙකුගෙන් වෙනස් වන්නේ ඔහු තුළ ඇති බලාපොරොත්තුව සහ ඇදහීම මත ය. එනයින්, ජීවිත එල්ල කරන අභියෝග හා පරාජයන් අභිමුව, ආපසු සටන් කොට, වෙහෙසින් හෙම්බත් නොවී, ජීවිතය ද අත් නොහැර සිටිමට ඒවා ඔහුට අත්වැල සපයයි.”

“ජීවියේ වේඳනාවක් නොවී නම්, ප්‍රීතියේ සන්තෝෂයක් නැත. ජීවිතයේ විරහවක්, වෙන් වීමක් නොමැති නම් සමීප ඇසුරෙහි සෙනෙහස් පහසක් ද නැත.”

ඇය සිනා සී මා දෙස බලා, නළළේ අත හොවා “කාලය ඔබ මොලොක් ලෙස ස්පර්ෂ කොට ඇතැ”යි පැවසී ය.

“මං මැරිලා හද කියයි!”

“සෑම දෙයක් මත ම මිළක් ලකුණු කොට ඇත. සෑම තීරණයකට ම, ඒ සා ප්‍රාමණ්‍ය වියදමක් ඇත්තේ ය.”

“ද්වන්ත සටනක මා නියැලෙම්! එය දේව කැමැත්ත නම් එසේ ම වේවා!! එසේ නොවේ නම්, සිත් සදා ගැනීමට අවශ්‍ය ශක්තිය දානය කරන සෙක් වා!!!”

“සියල්ල මම සමිඳුන්ට කැප කොට පුද කළෙමි. මට ම කියා දැන් දෙයක් ඉතිරී වී නැත. මයේ ජීවිත් වීම සමිඳුන් උදෙසා ය; මා අභිලාශය සමිඳුන් ගේ කැමැත්ත පමණක් ය.”