සසල සිත


වැරහැලි ගැසුණු රෙදිකඩින්
යන්තමට විලි වසා
බැගෑපත් වී සැමට
හිඟිමන් පුරුදු වුණු උඹ
අයැද සිටින්නේ පිනට මුදලක්
සිත පිරුණු අයුරින් මගේ

මා සුසුම් හෙළුවෙම්
ඇත්තට ම හදවතින්
උඹේ අතපෑමට ප්‍රතිචාර දක්වා
වැඩිය නොව රුපියලක්වත්
දෙන්නට බැරි වීම ගැන

උඹ දන්නේ නෑ
ජැන්ඩියට කලිසමක් ඇදගෙන
මා හැඩට සිටියාට
මේ ගමන් කරන්නේ
අතේ සතයක්වත් නොමැති ව
මාසේ පඩි පත ලැබෙන තුරු
නිදහස් බස් ගමන් බලපතින් බව. . .

දෝණී


මා වැඩට යන විට

දිප්තිමත් නෙත් අයා

නුඹ කෑ ගසයි

දොරකඩ ළඟ සිට


මගේ දියණියේ

ගේ පහන

ජීවන සිරිය


මා අතේ එල්ලී අද

සුදු මලෙන් ගැවසුනු

දෙව් මැදුරු අසුන් මැදින්


සුදෙන් සුද තබා

වෙනතෙකුට අත දී

ඔහු හා යන ශුද්ධ සරණේ

මා හද කෑගසයි අද

දොරකඩ ළඟ සිට

ආසයි මං


රෝස පැහැ

මල් මිටියා වත පුරා

ඇවිද යන්නට

ආසයි මං ඒ මතින්. . .


එහෙත් ඇවිදින්නට

තහනම් ය


නිදිකුම්බා මල් කුමරියන්ගේ

මල් පාවඩ මතින්. . .

ඉවසාපන් උඹ: නිධාන කතාව


සමහර කවි මා ලියන්නේ මට ම ය. ඒවායේ විවිධ වූ ඉඟි තබා, මා හදේ වූ විවිධ කල්පනා සඟවා තබයි. සමහර කවියට මතුපිටින් පෙනෙනවාට වඩා, දාර්ශනික ප්‍රස්තුතයක් ඒ තුළ සඟවා ඇත; ඒවන් කවියකි මෙය. පසුගිය දින මා පළ කළ, කවිය ගැඹරේ ගැබ් වූ කතාව මදක් මතු කර ගන්නට “දුකාට හැකි වි ය. ඔහු මා ලී දේ පසුබිම නොදත් නිසා වික්ෂිපත් ව, අරුත ගැන අවිනිශ්චිත සටහනක් තැබී ය. ඒ හෙයින් ඔහුගේ වික්ෂිප්ත භාවය සැනසීමට මා කවිය පසුපස වූ ජීවන දෘෂ්ටිය හා දාර්ශනික සංකල්පනාව මෙහි ලියා තබමි:


බඩගිනියි නහුතයට ම

සිතලයි මේ වැසි රාත්‍රිය

අදුර දවා දැල්වෙන පහනක්

මා ඉදිරියේ රතු කමිසකරුවෙක්

බෙදයි තැම්බූ කඩල මුදලට

කඩලේ. . . කඩලේ. . . කඩලේ. . .

කෑගසයි ඔහු අත සීනුව

බඩගිනියෝ. . . බඩගිනියෝ. . . බඩගිනියෝ. . .

හඬයි දුකින් මා කුස

පෙරළෙයි ඒ මේ අත. . .


කුමක් කරන්න ද?

මා අත මුදල් නැත


ඉවසාපන් උඹ

ඉවසාපන් මයේ රත්තරන්

ඉවසාපන් අම්මා

ඉවසාපන් මයේ පණ

ඉවසාපන් බඩ!

මේ කව් සංකල්පනාව ඇති වූයේ දවසේ වැඩ අහවර කොට ගෙදර යාමට රැදී හුන් දෙවන බස් රථයේ දී ය. එදා වැසි දිනකි; බඩ ගින්න ඉහ වහා ගොස් ය. එය තවත් වැඩි කරනු සඳහා කඩල කරත්තයක් දක්කා ගෙන රතු වර්ණ ටී ෂර්ට් ඇද ගත් කොළුවෙක් කඩල විකුණ යි. සීතල රාත්‍රියේ සිසිලෙන් ඝනීභවත කඩල බන්දේසියෙන් නැගී හුමාලය චමත්කාර ලෙස ඉහළ නැගේ. එයින් නැඟෙන තරම්බූ කඩලවල නැවුම් සුවඳ බඩ ගින්දරට තව තවත් පිදුරු දමයි. දන්න හැම උපක්‍රමය ම යොදා, බඩ හිලෑ කරගන්නට උත්සහ කළත්, හිතුවක්කාර බඩ ද, කඩල ඉල්ලා අඬයි; කුරු කුරු ගි යි; අවිටිලි කරයි. ඉහළට පහළට හරහට පැත්තට ඒ මේ අත පෙරළේ. මා ද චිත්ත ධෛරය ගෙන බඩට තට්ටු කරමින් බඩ නළවන්නට උත්සහ කළෙමි; වරක දෙවරක තරවටු කොට බඩ මට්ටු කළේ ය.

මා අතේ මුදල් නැත; මම පසු දින සමාජ සේවා කටයුත්තකට බස් ගාස්තු පමණක් රදවා අත වූ සියල්ල ම දුනිමි. පඩි පතට තවත් සතියක් බලා හිඳිය යුතු ය. විවිධ දේවල් ගැන සිතමින් බඩ හිලෑ කරගන්නට නිරර්ථක උත්සහක් දැරීමි. කඩල ඉල්ලා හඬන දරුවෙකු සේ මා විසින් කියන නැලවිලී ගී, පරදා “බඩගිනියෝ, බඩගිනියෝ, බඩගිනියෝයි මොරගායි.

මගේ ගෙදර වත්ත පහළ අසල්වැසි නිවසක මහළු මිනිසෙකු විය. ඔහුගේ අන්තිම කාලයේ මනස විකෘති ව, හුන් තැන ම ජරා කොට, නිර්වස්ත්‍රව විසී ය. හෙතෙම සෑම දිනක ම, උදෑසන සිට සවස දක්වා විටින් විට, “බඩගිනියෝ, බඩගිනියෝ, බඩගිනියෝයි හේ හඬ තල යි. පහළ ගෙදර වුන් ඔහුගේ දරුවන් නාවන විට, “බුදු අම්මෝ. . .මිනී මරනවෝ යයි කෑ ගසයි. පසුගිය අවුරුදු කිහිපය පුරා, මේ හඬ සවනේ නොවැටුනේ, ඒ මහළු මිනිසා දිවියට සමු දී, තුමූ විඳී අපා දුකෙන් නිවන් ලැබූ බැවිණි. සසරේ වෙසෙන මිනිසා ද ජරාවේ ගැලී ගැලී, කෑ ගසන වේඳනාවේ හඬ, මට බඩේ දැඟලිල්ලෙන් සිහි විය. එහෙත් සසරේ දුක් විඳින මිනිසා හට, මුල කී මිනිසා තරම් වාසනාවක් වත් නැත්තේ, මොන දැඟලිල්ල දැම්මත්, කවර ප්‍රතිපත්තිය වැඩුවත් මේ දිවියේ තබා ළඟ ආත්ම භව දස දහස් ගණනාවක දී වත්, පුරවා ගත් පිං පව් ගෙවා, කිසිදා නිවන් දැකිය හෙයිනි. ඕනෑනම් කළ හැක්කේ මා මෙන්, කුසගින්න අමතක කරනු වස්, මොනවා හෝ යහපත් ක්‍රියා කර හිත සනසා ගැනීම පමණි. පව්කරුවෙකු ගේ මරණයෙන් මතු ලබන ඉරණම දන්නේ කවුරුන් ද?

කඩලකරුවාගේ රතු ටී ෂර්ටය, දුකාට දැණුනා සේ මට තායිලන්තයේ පසුගිය දිනවල උත්ඝෝෂණ පැවැත් වූ “රතු කමිසකරුවන් සිහි වි ය. ඔව්හූ ද මා කුසගින්න මෙන් සමාජ සාධාරණත්වයක් උදෙසා හඬ තැලු හ. කඩලකරුවාගේ පහනේ දීප්තිය ද, සුවඳ හමන කඩල දූමාරය ද, කන්නයි ආරාධනා කරන මනහර දසුන ද, නිවිහැනහිල්ල බිඳින කඨෝර සීනූ නාදය ද, මිනිසුන්, ඒ මඟ යන්නන් ඔහු වෙත ඇද ගැනීමට තනයි.

එහෙත් මා මෙන්, තායිලන්ත ආණ්ඩුව ද, රතු කමිසකරුවන්ගේ කඩලවලින් මහජනතාව ගේ කුස පුරවන්නට ඉඩ කඩක් නො කළේ ය. අවසානයේ රතු කමිසකරුවන් පරදවා ආණ්ඩුවේ මිලිටරි සපත්තුව හිස එස වී ය. ඔවුන් ගේ කොඳු කඩා, නායකයන් මරා, අභිමානය පගා, ජීවිතය තික්ත කොට, මගේ බඩගින්න මෙන් තම සපත්තු බූටයට යට කර දැමී ය. මෙකී සංසිද්ධිය ම, 1971, 1988-89, ජේ.වී.පී. හට ද නිර්දය ලෙස ඒ ඒ ආණ්ඬු මිලිටරි බලය යොදා මර්දනය කළ හ. රතු කමිසකරුවන් ජනතාව අතර සැඟ වී නොපෙනි අතුරුදහන් වි ය. පසුගිය යුද්ධ සමයේ ද, රතු ලෙයින් උතුරුකර තෙත් කර වා, රතු ධජ අත දරා යුද්ධ කළ ත්‍රස්තයන් ද පවතින රෙජිම මගින් දණ ගස් වා පරද වා, දකුණේ තැන තැන කිරි උතුරා, කිරිබත් කා, ජයපැන් පානය කර වී ය. යුද්ධ අනාථයන් කදවුරුවලට ගාල් කර, “අපි යාපනේ දෙමළ මිනිස්සුයයි ඔවුන්ට වූ අභිමානය බිඳ දමා, හිඟන්නන් ද, අතපාන්නන් ද, අසරණයන් ද බවට මුළු ජනසමාජයක් පත් කර වී ය.

එහෙත් අප අමතක නොකළ යුතු කරුණ වන්නේ කුසට ආහර දෙන තුරා කුස ගින්න නැවත නැවත මතු වන බව ය; කෑ ගසන බව ය; පෙරළෙන බව ය. අනෙක් අතට, වරක් ආහාර දීමෙන් පමණක් කුසගින්න නැති නොවේ. එය නිරන්තරයෙන් ම, ශාරීරික අවශ්‍යතාවය මත ම මතු වේ; සමාජ අවශ්‍යතාවන් ද එ සේ ය; අවශ්‍යතාවය සැපරී සහනය ලැබෙන තුරාවට අළු යට වූ ගිණි පුළුගු සේ, සාමාන්‍ය ජනතාව අතර හා යට සැඟ වී පවති වි; ලත් අවස්ථාවක නැවත මතු වී, ලැව් ගිනි තනා දේශයන් පුරා පැතිරි ඉසිරි, දේශය දවා දම යි෴

ඉවසාපන් උඹ!


බඩගිනියි නහුතයට ම

සිතලයි මේ වැසි රාත්‍රිය

අඳුර දවා දැල්වෙන පහනක්

මා ඉදිරියේ රතු කමිසකරුවෙක්

බෙදයි තැම්බූ කඩල මුදලට


කඩලේ. . . කඩලේ. . . කඩලේ. . .

කෑගසයි ඔහු අත සීනුව

බඩගිනියෝ. . . බඩගිනියෝ. . . බඩගිනියෝ. . .

හඬයි දුකින් මා කුස

පෙරළෙයි ඒ මේ අත. . .


කුමක් කරන්න ද?

මා අත මුදල් නැත


ඉවසාපන් උඹ

ඉවසාපන් මයේ රත්තරන්

ඉවසාපන් අම්මා

ඉවසාපන් මයේ පණ

ඉවසාපන් බඩ!

වෙනස

ඡයාරූපයක් මගින් ලියූ කවියකට අරුත සම්පූර්ණයෙන් වෙනස් වෙයි. මා කලින් ලියූ කවියකට මේ ඡයාරූපය ඇතුලු කළ විට එහි අදහස සම්පූර්ණයෙන් වෙනස් වේ. දැන් නැවත පහත දක්වා ඇති කවිය කියවා ඡයාරූපය හා සසඳා බලන්න:


ඔය ලෙන්ගතු මුහුණ

ලයාන්විත, අහිංසක බැල්ම

මා සුසුමෙන් පුරවයි. . .

අනේ!



ඔය ලෙන්ගතු මුහුණ

ලයාන්විත, අහිංසක බැල්ම

මා සුසුමෙන් පුරවයි. . .

මගේ කවි ලියීම ගැන. . .


“මළ දළු ලියලා

හරිත කොට අතු අග

දසත තෙත් වී

ගිම්හානය නිම කොට

වස්සානය පැමිණේ!”

__

෴මගේ කව් ලීයීම ගැන වදනක්෴

මා ලියන කව් කෙටි ය. සමහරු ඒ ගැන මගෙන් විමසා තිබේ. ඒ හෙයින් මා කව් ලියනා ආර ගැන යමක් පැවසිය යුතුය යි හඟිමි. කලින් දැක් වූ පරිදි මගේ කවි ලිවීම ආරම්භ වූයේ සිත් ගත් ලියකට ආදරය කිරීමට පටන් ගත්ඳා පටන් ය. එහෙත් මාගේ කෘති ප්‍රේමයට හෝ විරහවට පමණක් ලඝු නොවේ; මාගේ නිර්මාණයන් ජනිත වන්නේ සංකීර්ණ චිත්ත සංකල්පනාවන් රාශියකගේ ගේ ඝට්ටනයන් සහ දර්ශනීය දැක්මක් හේතු කොට ය. එය මෙසේ ය:

මගේ කාව්‍ය සඳහා පාදක වන්නේ මගේ ම ජීවන දෘෂ්ටිය යි. ඒ ජීවන දෘෂ්ටියට අන්තර්ග්‍රහණය වන්නේ එදිනෙදා ජීවිතයේ සොඳුරු ඇස ගිය තැන්ය. මගේ කවි මුලික වශයෙන් සංශිප්ත ජපන් “හයිකු” කව් ආරක් ගත්ත ද, ඒ කව්‍යයන් මෙන් විෂ්පොඨ නැත; ස්වභාව ධර්මයේ හෝ වචනවල ඇති උභතෝකොටිකයන් එයින් මතු කොට නැත.

මගේ කවිවල ඇත්තේ ජීවිත යයි. ජීවිතය දුක් කම්කටොලුවලින්, දුක්කදෝමනස්සයන්ගෙන් ගහන ය. එලෙස දුකෙහි පැවතිම පිළිබඳ ආගමික වශයෙන් හේතුන්ගේ වෙනසක් වෙයි. කවර හේතු ප්‍රත්‍යක් අරා දුක් හට ගත්ත ද, අපට ජීවත් වන්න ඇත්තේ ලැබී ඇති ලුහුඩු දින ගණනක් ය. ඒ උපතත් මරණයත් අතර ය. එනයින් මගේ කව් සංශිපත ය, ඒ ජීවිතයකෙටි මෙන් කවි ද කෙටි ය. සමහරක පෙළ දිග ය; සමහර පෙළ කෙටි ය. ජීවිතයත් එකඳු සමාන නැත; උස් ය; මිටි ය; අවිනිශ්චිත ය; අසම්භාවි ය. ජීවිතයේ සිඳුවීම් විටක දිගු ය; විටක කෙටි ය.

මගේ බොහෝ කව්වල එළිවැටත් හෙවත් සදැස් නැත; මගේ කවිවල ඇත්තේ නිසදැස් ය. එයින් ජීවිතයේ කවර පිළිවෙලක් වත් නැති බව විද්‍යමාන කර යි. අපට පෙනෙන ජීවිතය සඳහා පැහැදිලි අරුතක් නැත. ඉතිහාසයට අරුතක් දෙන්නෙකු සිටිය යුතු නමුදු ඉතිහාසට අපේ මනුෂ්‍ය දැක්මෙන් අරුතක් නැත. අරුතක් නැති ඉතිහාසයක පිළිවෙලක් ද නොහේ. ඒ හෙයින් ජීවිතය අස්තිරය: අවිනිශ්‍ය ය; නිත්‍ය නැති. එනයින් ජීවිතය ජීවත් වීමට සහ තුටු වීමට නොසැලීම හා උපේක්ෂාව අවශ්‍යය. නොසැලෙන දැක්මකින් සමබරතාව ඇති ව ජීවිත ලෙස බැලිය යුතුය. අරුත් නැති ලොවක අරුතක් ඇති ව ජීවත් වීම උගහට ය. ඒ සඳහා සංයමයක් අවශ්‍ය ය; සියුම් දැක්මක් අවශ්‍ය වෙයි.

ජීවිතය ඇත්‍තේ රිසි සේ සොම්නසින් ජීවත් වීමට මිස, ජීවිතය විසි කරන අභියෝගයන්ගෙන් වික්ෂිප්ත වන්නට නොවේ. අප කැමති වුවද, නැති ද, නියමිත දින ගණන ජීවත්විය යුතු ය. නැතහොත් ස්වඝාතනයෙන් මැරිය යුතු ය. මෙවැනි දැක්මක් නිශේධනීය හෙවත් ඍණාත්මක ය. එවැන් ජීවිතයක් ජීවත් වන්නේ කුමකට ද? ජීවත්වනවා නම් ජීවිතය දෙස සාධනීය දැක්මක් හෙලීය යුතු වෙයි. මැරුණු ජීවත් විමක් හෙවත් මළ ජීවත් වීමක් පතන්නේ කවරෙක් ද? එයට වඩා දිවි තොර කර ගැනීම යහපති. ඒ හෙයින් දුක් සහිත මේ කෙටි ජීවිතය දෙස සර්වසුබවාදී ලෙස බැලීමට ගත් ප්‍රයත්නයකි මගේ රචනය සහ කාව්‍ය නිර්මාණ ය. මෙනයින් මගේ පැතුම ද, තිර අධිෂ්ඨානය ද නම් කුමකින්, කවරකින් පැරදුණත් ජීවිතයෙන් නොපැරදිය යුතු බව ය. පුර්ණ ජීවිතයක් ගත කොට, මනා සේ තෘප්තිමත් මරණයක අපේක්ෂාව මගේ හද ගැඹරේ වූ පැතුම යි. මේ කවි ප්‍රතිධ්වනීය කරන්නේ ඒ අභිලාශය ම ය. මා දකිනා ලෙස ජීවිතය දෙස සොදුරු ලෙස බලා, තුටු සිතින් වින්දනය ලබන්නට ඔබට මේ කවි හේතු භූත වේවායි මා පැති ම෴

යුවතියක් නිසා ලියූ කව්: හමුවීම


ඉළ ඇට ශරීරයේ වැදගත් සහ ජීවිය පවත්වා ගැනීම සඳහා වටිනා වූ අවයව ආරක්ෂා කරමින් පවති. ඒ ඉළ ඇට මනුෂ්‍ය ප්‍රාණය පවත්වා ගැනීම සඳහා අවශ්‍ය හුස්ම ගැනීම සඳහා අවකාශ සැලසීමට තරම් ඒ ඇට නම්‍යශිලී ය. බයිබලයේ සඳහන් වන පරිදි ස්ත්‍රිය දෙවියන් වහන්සේ මවන ලද්දේ පළමු මනුෂ්‍යයාගේ ඉළ ඇටයක් රැගෙන ය. එනයින් එදා මැදපෙරදිග සංස්කෘතික දැක්මට අනුව කාන්තාව භාණ්ඩක් හෝ තමුන්ට අයිති තවත් වහලෙකු මට්ටමේ ලා නොතබා, මනුෂ්‍යයාගේ ම කොටසක් සහ පිරිමියා හා සමාන, සම ස්ථානයෙන් මවන ලදිදක් බව දක්වන ලදී. පහත කවි සිතු විල්ල ලියැවුණේ දෙවියන් වහන්සේ විසින් සෑම අයෙකු සඳහා ම නිර්මිත සහකාරියක් හෝ සහකරුවෙකු ඇතයි යන සංකල්පයෙන් ය. ‍ප්‍රේමයෙන් වෙලෙන දෙදෙනෙකු ඔවුන් ගේ හමු වීම දක්න්නේ දෙවියන් එකතු කළ දෙයක් ලෙසින් ය:

නගේ කිම පමා හද මයේ දෙස නැතුවා දෝ

රගේ ඇති බැල්ම සැමදාමත් පවතී දෝ

වගේ පෙම් කුසුම මා හද මඬලේ පිපිලා දෝ

මගේ ඉළ ඇටය අද දින මට හමු වී දෝ

යුවතියක් නිසා ලියූ කව්: අනන්තය


අවසර ලැබේ දෝ නොලැබේ දෝ

හද කිලිපොලා හඬා වැටේ

එනමුත් හමුවන සෑම මොහොතක

මුළු ලොව ම අමතක වී ගොසින්

දැවටි දැවටි මිහිරි තෙපුලෙන්

මංමත්වේ. . . හදවත පිරේ

අත්වැල් තදින් අල්ලා ලා

ඇවිද යමු ඈත අනන්තයට. . .