• පුර්වාදර්ෂ - මුළු වසර පුරාවට විවිධ වූ නරක පුර්වාදර්ශ රාශියක් පෙළ ගැසිණු දක්නට වි ය. ලංකාවේ මුළු දේශපාලන ඉතිහාසයේ බහුතර වශයෙන් ම දක්නට ඇත්තේ වැරදි පුර්වාදර්ෂයන් ය. අ...
    3 years ago

ගී රස දහර: අපි ආයේ දවසක. . .




පද සංකල්පනාව සහ ගායනය: දයා විතාරණ
සංගිත රචනය: (?)

අපි ආයේ දවසක හමුවෙමු ද මේ අද වාගේ
දැන් ඉර ගිලෙයි මුහුදේ - කළුවර පිපෙයි දෙපසේ
වෙන් වෙමු ඉතින්... හමුවන සිතින්...
අපි ආයේ දවසක අද වගේ

අදින් පසු ඔබ... ඔබට හිමි මග
ඉතින් මා.. මට උරුම තනි මග
ආයෙමත් හමුවන තුරා
දෙතැන ඉමු අපි මග බලා

අපි ආයේ දවසක...

තුටින් හමුවුන සුහද බව අප
අරන් යමු අපේ... මතක මැදුරට
ආයේමත් හමු වන තුරා....
එක ම තැනකදී ජීවිතේ

අපි ආයේ දවසක....


සංගිත භාණ්ඩ: ගිටාරය, බැන්ජො, බට නලාව, වයලිනය (හෝ/සහ ඕගනය), බොන්ගෝ ඩ්‍රම්ස්


ඉතා සරල තනුවකට මෙම ගීය ලියා ඇති අතර, අදහස් නොගැඹුරු, ඉතා සරල එහෙත් ලාලිත්‍යමත් පබැදුමකි. ගායකයා ඉතාමත් සිත්කළු මධ්‍ය ලයකින් ගායනා කරයි. එකී හඬ ගීතයේ තේමාව තුළ වූ වෙන්වීම, විරහව බවට පත් කරන සේ ය. එබැවින් වෙන් වීමක වූ දුක්කදොමනස්යන් මේ ගියේ මැනවින් මතු වී පැමිණේ. ගිතයට බැදුණු චරිතයෝ බොහෝ විට, ආදරය කරන හෝ කළ යුවලක් විය හැකි ය. එකී උපකල්පනය තවදුරට ශපත කරන්නේ මුහුද හා සවස් භාගය ගීයේ ආරම්භයේ දී මතු කරනා බැවිනි. ගීයේ කතකයා ගීය ආරම්භ කරන්නේ, ‘යම් දෝ නොයම්දෝ’ යන හැඟිමක් සහිත ව ය. ඔහුගේ වෙන් වීමේ යෝජනාව තුළ බලාපොරොත්තුව පෙරදැඩි වූ, නැවත හමු වන අරමුණ සහිත වෙන් වීමකි. කතකයාගේ මේ හමු වීම අතිශයින්ම මනහර ජීවිත රසස්වාදයක් සහිත අත්දැකීමක් බැව් වෙන් ව නොයාමට ඇති මැලිකමෙන් ම පෙනේ. එහෙත් මෙකී යුවලට වෙන් වීමට සිදු ව ඇත්තේ, ‘ඉර මුහුදේ ගිලී දෙපසින් කළුවර පිපෙන’ නියාවෙනි. ගීත රචකයා අදුර වැටීම කළුවර පිපීමකට සමාන කරන්නේ, පොපියන අන්ධකාරයේ සිඝ්‍රතාවය හැඟ වීමක ට මෙන් ය. ගෙවෙන නිමේශයක් පාසා විගසින් කළුවර පිපී වැඩේ. මෙය අතිශය මනරම් ලෙස සවස නිමා වී රාත්‍රියේ උදා වීම සනිටුහන් කිරීමකි. කල පැමිණ ඇති හෙයින් ‘වෙන් වෙමු ඉතින් හමු වන සිතින්’ කරන යෝජනාව, වෙන් වීමෙහි අවසන් පැතුම විරහව නො ව, මතු දිනක හමු වන අපේක්ෂාව ය.

එහෙත් මේ වෙන් වීම, වචනාර්ථයෙන් නුදුරු දිනක හමු වීම සඳහා වන වෙන් වීමක් නම් නොවේ. ඔවුනෝවුන් වෙන් වන්නේ ස්වකීය අභිමතාර්ථ වූ වෙන් වූ ගමන් යාමට ය. කතකයා තමුන්ගේ ගමන් මග දක්වන්නේ, ‘මට උරුම තනි මග’ යන යෙදුමෙනි. එනයින් මේ හමුවන යුවල, පෙමෙහි ගැලී ඇලී වෙලෙන පෙම්වතුන් දෙදෙනෙකු නොව, අහම්බෙන් හමු වූ, වෙන් ව ගිය පෙම්වතුන් යුවලක් විය හැකි ය. එය තවත් මතු කරන්නේ, ‘ආයෙමත් හමුවනු තුරා...දෙතැන ඉමු අපි මග බලා’ යන වහා ම යෙදෙන පද කොටසකිනි. මේ වෙන් වීම දිනකට, සතියකට සීමා වන්නක් නොව, එයට වඩා වැඩි කලකට වන වෙන් වීමකි.

පෙම් කරන යුවලකට පැයක දෙකක වූව ද, අතිශයින් ම විසල් කාලයක් සේ හැ‍‍‍‍ඟේ. එහෙත් මේ යුවල එවන් යුවලක් හෝ දුරගමනක් සඳහා වෙන් ව යන යුවලක් ලෙස නොපෙනෙන්නේ තෙවන පද සංකල්පනාව මගිනි. මේ ප්‍රීතිමත් හමුවේ සමුරු සටහන ‘අපේ’ මතක මැදුරට අරන් යන්නට කතකයා යෝජනා කිරීමෙන් පෙනෙන්නේ මේ සම්බන්ධය දුරාතිතයට දිව යන බවකි. එහෙත් ඒ අතීත ලෙන්ගතුකම තුළින් දෙදෙනා මතක මැදුරක් ගොඩ නගා ඇත. පෙමෙහි බැදුන (ක්‍රියාකාරී) පෙම්වතුන් ජීවත් වන්නේ අතීතයේ නොව, වර්තමානයේ ය. ඔවුහු මතක මැදුරු ගොඩ නගා, ආවර්ජනයේ යෙදීමට වඩා, දින දින වන සිදුවිම් තුළින් අමන්දානන්දනයට පත් වෙති. එවන් ගැඹුරු ප්‍රේමයන් හි මතක සටහන් කෙටි ය; දෛනිකය; සුලභ ය. එහෙත් විරාමකින් හමුවන්නන්ගේ මතක සටහනක් දිගු ය; විරල ය. එනයින් ඒවා සුරක්ෂිත ලෙස තැබීමට හා නැවත නැවත ආවර්ජනයට නම් මතක මැදුරු අවැසි ය.

අවසාන පද පෙල මේ නිගමනය තවත් පසක කරන්නේ හමු වීමේ අපේක්ෂාව ද අහඹු අනාගත දිනක දී සිඳු වෙත්වායි පැතිමෙනි. එහෙයින් ‘එක ම තැනකදී ජීවිතේ’ යන අස්තීර, විවෘත අපේක්ෂාව අපට මෙකී දුරස්ත ලෙන්ගතුකමෙහි යථාභූත ස්වභාවය ඉස් මතු කරයි. මේ මුළු ගීය පුරා ම මතු වන්නේ කතකයාගේ නැවත හමු වීමට ඇති පරම අභිලාශය ය. සමහර විටක ඔහුගේ තනි කඩ ජීවිතයට මේ හමු වීම සතුටක් මෙන් ම, පරණ ලෙන්ගතුකම් සිහි කොට අලුත් කරන්නක් විය හැකි ය. එහෙත් එවැන් මතු හමු වීමක සේයාවක් වත් නැති බැව් දන්නා ඔහු, ඒ සියලු අවිනිශ්චිතතා අභිභවා පවසන්නේ ‘අපි ආයේ දවසක හමුවෙමු ද මේ අද වාගේ!’ ඔහුගේ සොම්නස් පැතිම නුදුරක දීම ඉටු වේවායි යන්න මගේ ද පැතුම ය...

2 comments:

  1. "How to dance in the rain" කියන ලිපිය සිංහලෙන් ලියන්න පුලූවන්ද.

    ReplyDelete