• පුර්වාදර්ෂ - මුළු වසර පුරාවට විවිධ වූ නරක පුර්වාදර්ශ රාශියක් පෙළ ගැසිණු දක්නට වි ය. ලංකාවේ මුළු දේශපාලන ඉතිහාසයේ බහුතර වශයෙන් ම දක්නට ඇත්තේ වැරදි පුර්වාදර්ෂයන් ය. අ...
    3 years ago

දිය මත වැටුණු සෙවනැලී: පළමුපරිචය

ඇමරිකානු දිවිය හුදකලාවෙන් ගැවසී ගත්තක්; සමහරු හුදකලාව, කලාවක් කර ගත්ත ද මට නම්, එය මහා ම මූසල තනිකමක්. තනිය මැකෙන්නත් තෙක්ක මම අවුරුදු පහක ව්‍යාපෘතියකට අත ගැසුවා. ඒ නව කතාවක් ලියන්න--මා ලියු වැකි කියව කියවා සංස්කරණය කිරීම අතිශයින් චමත්කාර ජනක යි. මාස කිහිපයක් කොටසින් කොටස ලියලා, යනතමට පළමු පරිච්ඡේදය ලියා අවසන් කළා. ඉන් පසුව අවසන් කළේ අවසාන පරිච්ඡේදය යි. මැද කොටසේ අන්තර්ගතය 50%-60% පමණ කර ගන්නට පුළුවන් වුණා.දැන් මුළු කතාවට ම දළ සැකිල්ලක් තිබෙනවා. මගේ අරමුණ පරිච්ඡේද එකින් එක අවසන් කරන එක.

ඔබගේ රස වින්දනට පළමු පරිච්ඡේදය මෙහි සටහන් කරන්නට සිතුවා--අදහස් තිබෙනවා නම් සටහන් කර යන්න. මෙහි ප්‍රධාන චරිතය 'ලීලා' නැමති කාන්තාවක්, එකී නම මුල් ම සිංහල නවකතාව ඇසුරින් සැකසුවා. නමුත් සමහරු ඒ නමට කැමති නැහැ. හොඳ නමක් තිබෙනවා නම් යොජනාවක් කරන්න. . .



1

දෙවැනි මව්




කදු වළල්ලෙන් වට වූ පිටිසර ගම්පියසක, මීදුමෙන් ගැවසී ගත් හිමිදිරි උදෑසනක චමත්කාරය නිදිසුව විඳි දෙනෙතින් සැඟ වී තිබේ. රාත්‍රී පින්නෙන් තෙමුණ තණ මත, නැගෙන හිරු එළිය දෙදුණු වර්ණ ඉහිරවමින් දිලේ. හිරු වැටී පණනල ලැබ, කඩිසරින් මලින් මල යන බිඟු ද, ඒ මේ අත පියාසරන කෘමී ද, ඉසිරිනු දියමන්ති මෙන් පින්නෙන් සැරසුණු මකුළු දැල් ද, දවසේ පළමු ගොදුර සොයන වෙර දරන විහගුන් ද මේ නැවූම් සිත්තම තව තවත් සොදුරු කරයි. ගම්මැද සුදු හුණු ගෑ, කටුමැටියෙන් අඩක් ද, සිමෙන්තියෙන් ඉතිරිය ද නිම වූ ගෙයකි. එහි කුස්සියේ තෙත් වූ වහල මත හිරු රැස් පතිත වද්දී, කාන්තිමත් හිරු එළිය සිසාරා වහල මතින් හුමාල දුම් නැගේ.


උදෑසන ම අවදි වූ ලීලා, කුස්සිය දෙසට පියවර මැන්නා ය; රාත්‍රීයේ පත්තු කළ ලීපෙහි අළු යට නිදා හුන් ගිනි අගුරු අවදි කොට, පාදා පොල් කොළ රැණක් වකුටු කොට එබුවා ය. දුම් නඟමින්, සට සට හඬ නඟන පොල් කොළ ගොන්නට, හනුසු කිහිපයක් ද, දර කැබලි දෙකතුනක් ද ළං කොට, ඇස් වසා ඈ වේගයෙන් පිබ්බා ය. දෙවනි වර, පිඹින්නට තනන විට, ‍පොල් කොළ බිඳ ගෙන, ගිණි දැල් පැන මතු වි ය. ගත් දිගු හුස්ම හෙලූ ඈ, දර කැබැල්ලකින් ලිපේ ඇවිලෙන පොල් කොළ රෑණට ඇන්නා ය.


මල්ලි නැගිට ඇවිත්, වංගෙඩිය මත හිඳ, අත් බැඳ කේතලය දෙස බලා හුන්නේ ය. ඔහුගේ හිස කේ අවුල් වී, ඉත්තෑවෙකු ‍ගේ පිට මෙන්, ඉහළට එසැ වී තිබිණි. හරි හරියට ඇවිලෙන, ලිපෙහි ගිණි දැල් සලිත වන අයුරට ම මල්ලි කකුල් වනමින් ඒ මේ අත වැනේ. ලීලා විසින් හැරි ජනේලය හරහා හිරු රැස්, කොහොඹ තුරු අතුරින් කුස්සිය දෙසට එබි බලයි. ලොකු කර ගත් දැස් එක් අතකින් පිරිමදිමින් ද, අනෙක් අතින් පහළට වැටෙන කලිසම අල්ලා ගනිමින් නංගී කුස්සියට ඇදේ. ඇය ලිලා ළඟට විත්, ඇයගේ ඇඟට හේත්තු වුණා ය. ලීලා අනෙක් අතින් ලිපට අනින ගමන්, නිදහස් අත ගෙන නංගීගේ ‍බොකුටු කෙහෙරැලි අත ගැවා ය. සෙනෙහසින් නංගි ලීලා දෙස බලා සිනාසී තව තවත් ඇයට ළං වූවා ය.


ලීලා දෙවැනි මවක වූයේ, ඇගේ මව ගේ මරණනේ පසු ය. ඇය උසස් පෙළ විභාගය සමත් ව, විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන්නට සිහින මවමින් සිටියි. එහෙත් මව නැති අඩුව පිරිමසන්නට ඇයට සිඳුවි ඇති බැවින් ඇයගේ සිහිනය මදකට කල් තබන්නට සිඳු විය. මදක්? හ්ම්...සමහර විට ඇගේ සිහිනය සදහට ම බොඳකර හරින්නට සිඳු වනු ඇත.


"අක්කේ තේ හදන්නේ නැද්ද?" නො ඉවසිල්ලෙන් කේතලය දෙස බලා හුන් මල්ලි ගොරනාඩු දැම්මේ ය.


"හදනවා... හදනවා... පොඩ්ක් ඉවසලා ඉන්න...කෝ... හලෝ!" ලීලා බොඳවූ සිහින පසක ලා, නැගිට තේ හදන්නට සැරසුනා ය.


"කෝ තවම වතුර උතුරලා නැනේ...ඔය හදිස්සියට වතුර උතුරන්නේ නෑ..." ලීප ළඟට ළං වෙමින් ඈ කී ය.


ලිප් ගින්දර, බූර බූරා තරඟයට පොර කමින් කේතලය වේලා ගනී. ගින්දර ඇඟිලි වැද, ඒ ස්පර්ශයෙන් කිතී කැවී, කේතලය ලිප මත ම, ඒ මේ අත වැනේ. කේතලය දෙසම බලා, ඈ අතින් ලිපට දර කැබැල්ලක් ළං කළා ය. හිස ඇද කොට, මල්ලී දෙස බැලූ ඇය, මල්ලි දෙසට ළං ව, ආදරෙන් හිස පිරිමැද්දා ය. ඇගේ අත හිස කේ මත, වදිද්දී ම, මල්ලීයා ලැජ්ජාවෙන් මෙන් වකුටු වුණේ ය.


"පුහ්... මෙයාගේ ආඩම්බර..." නොක්කාඩුවටට මෙන් ලීලා මල්ලි දෙස බලා ඇද කළා ය. මල්ලීයා තව තවත් වකුටූ විණ. එක වරම ‍ඈ දැත් බදා, මල්ලිගේ හිස හා මුහුණ තදින් බදා ගත්තා ය. සෙලවෙන්න තබා, හුස්ම ගන්නට වත් මල්ලිට නොහැකි වි ය. දැඩි සේ වෙර දරමින් ලීලාගේ ග්‍රහනයෙන් මිදෙන්නට ඔහු උත්සහ කළත්, ලීලා ගේ ශක්තිය පරදා නැඟී හිටින්නට ඔහුට නොහැකි විය. සියල්ලට ම වඩා නො සිතූ වෙලාවක, හිස මත වැටුණු හිරය නිසා මල්ලි දැඩි අපහසුවකට පත් වුවේ ය.


"අක්කේ නිකං ඉන්න කෝ..." කර කියා ගත නොහැකි ව මල්ලි කෙදිරි ගෑවා ය.


"හරි... හරි... යටත්.. යටත්..." මල්ලීයා දැඟලීම නවතා කීවේ ය.


"අන්න එහෙම එනවා..." ලීලා හිර කළ දෑත ලිහා, සෙමෙන් මල්ලීගේ හිස කේ ඇඟීලි තුඩින් තෙවරක් පිළිවෙලට පිරා, සියුම් ලෙස ටොක්කක් ඇන්නා ය. තවත් මොනවයින් මොනවා වෙයි දැයි නොදත් මල්ලි නිහඬ ව, නිසල ව, බොනික්කෙකු මෙන් ගොළු ව සිටියේ ය.


ගින්නෙන් බැට කා, දුම දමමින කේතලය ලිපෙන් එලියට පනින්නට තැත් කරනු දුටු ලීලා, වහාම එහි වේදනාව පහ කරන්නට මෙන් ලිප් ගින්දර නිවා දැමුවා ය. කේතලයේ හොඬින්, දිගින් දිගට සුදු වර්ණ හුමාලය නික්මේ. ඈ විගසින් තේ සාදා මල්ලීයා ට දුන්නා ය; පසුව නංගිටත් වත් කළා ය. ඇය තේ බොන අතර, හාල් ගරා ලිප තැබුවා ය. මල්ලීයා නංගි සමග මුහුණ සෝදා කුස්සිය පැත්තෙන් ගෙට ඇතුල් වි ය. ඉක්මනින් දෙහි දමා පොල් සම්බොලයක් තැනූ ඈ, මල්ලීට බෙදා දුන්නා ය. ඇය පොල්සම්බොලයෙන් කොටසක් දවාලය සදහා ඉතිරි කර දිසියකට දමා, පොල් සම්බොලය තැණු වලදට බත් දමා නංගි ළං කොට, නංගිට කවන ගමන් ඇයත් කෑවා ය.


බෙදූ බත් පත විගසින් ගිල දැමූ මල්ලි, අත් සොදා, බෝල ගසන්නට පිත්ත අතට ගෙන ‍සෙරප්පු පැළඳ ගත්තේ ය.


"මල්ලී...මං දවල්ට කෑම අරන් තාත්තා බලන්න යනවා...දවල්ට කෑම බෙදා ගෙන කනවා....හොදේ!" ලීලා හරිබරි ගැසි පාසල් පිටියට දුවන්න තනන මල්ලීයා ට කී ය.


"හා...හා..." තොප්පිය අතට ගෙන දිව යන ගමන් උවමනාවට එපාවට මල්ලි කී ය.


මල්ලී ගිය පසු ලීලා, "මොනව ද අද උයන්නේ?" තමාට ම කියා ගත්තා ය. "තක්කාලි ටිකක් දමලා මිරිසට බිත්තර හොද්දක් හදනවා" නංගි දෙස බලා කී ය. එහෙත් නංගි කිසිවක් නොකියා ම ලීලා දෙස උනන්දුවෙන් බලා හුන්නා ය.


ලීලාගේ මව් ඔවුන් අතහැර ගියේ දැනට වසර තුනකට පෙර ය. පියා හැකිසේ මව් නැති අඩුව පුරවන්න කටයුතු කළේ ය. ලීලා ද, උයා පිහා, ගේදොර කටයුතු කරමින් පියාට උපකාර කළා ය. පියා අනියම් ගොවියෙකු ලෙස වත්තක වැඩ කළේ ය. වත්ත අයිති මහත්තයා ලීලාගේ පියාට හොඳින් සැලකුවේ ය; ඔහු වෙන ම අක්කර එකහමාරක බිම් කොටසක් ලීලාගේ පියාට වෙන් කර දී තිබිණි. එහි මුළු අස්වැන්න ම මුදියන්සේට අයිති වි ය. ලීලාගේ පියාගේ නම මුදියන්සේ දිසානායක ය. ඔහු ජිවනෝපාය වූයේ ගොවිතැන ය. මුදියන්සේ මුලින් තම වගා කටයුතු කළේ පවුලේ ඉඩමේ ය. එහෙත් ලීලාගේ මවගේ අසනිපය හා විවධ ආර්ථික හේතු නිසා, එම ඉඩම සිය නෑදැයකුට උකස් කරන්නට සිදුවිය; එම උකස් ගෙවා ගත නොහැකි ව, අවසානයේ ඉඩම සින්න වි ය. එහෙත් ඒ ලේ නෑයා මුදියන්සේ ජීවත් වන තුරු ඔවුන්ගේ නිවසේ විසීම ඉඩ හැරීයේ ය.


ලීලාගේ පියා සෑම උදෑසනකම හිමිදිරියේ වත්තට යයි. හිමිදිරි උදෑසන සිට හිරු අවරට යන තුරු වත්තේ එළවළු වගාව සාත්තු සම්පායම් කළේ ය. වත්තේ මහත්තයා ද මුදියන්සේට දී තිබූ බිම් කොටසට අවශ්‍යවන බිජ, පොහොර, කෘමිනාශක ආදි වියදම් දැරුවේ ය. එහෙත් ඔහු ඒ වියදම් අස්වැන්නේන් අඩු කර ගත්තේ නැත. මුදියන්සේ කැමති පුද්ගලයකුට අස්වැන්න විකුණා ලාභ ලබා ගැනීමට ඉඩ දී තිබිණි. මුදියන්සේ හා වත්තේ මහත්තයා එක් ව, අක්කර දහයක වත්ත ම එළවළු වගාවෙන් පුරවා තිබිණි. දෙදෙනා එක් ව, පොළව කොටා පාත්ති සකස්කොට, අවශ්‍ය බිජ හෝ පැල ඉන්දවා ආදරයෙන් සාත්තු සම්පායම් කළේ ය. මුදියන්සේ දිවා ආහාරය ගැනීමට පුරුද්දක් ලෙස නිවසට පැමිණේ; සමහර දිනයන්හි මහත්තයා සමග මුදියන්සේ දිවා ආහාර වත්තේ ම ගත්තේ ය.


අම්මාගේ මරණයෙන් පසු ලීලා වත්තට ගියේ නැත; එයට හේතුව වූයේ ගේ දොර කටයුතු බහුල වීමත්, උසස් පෙළට සූදානම් විමත් නිසා ය. දැන් විභාගය අවසන් ය; ප්‍රතිපලත් පැමිණ ඇත. පාසල් නිවාඩු කාලය බැවින් නංගි පාසල් ගෙන යාමටත් අවශ්‍ය නැත. ඒ නිසා පාළුව මැකෙන්නට වත්තට ගොස් නංගිත් පියාත් සමග බත් කන්නට ඈ සිතුවා ය.


ලීලා පිදුරු වලින් ගැවසී ගත් බිඳී වළඳින්, බිත්තර හතරක් ගෙන දිය මත තැබුවා ය. බිත්තර දැමු වළඳ අසල හං වූ අල ගෙඩියක් ඈ දෙස උපේක්ෂාවෙන් බලා හුනේනේ ය. "ඔහේ...කමක් නෑ...අල ගෙඩියකුත් දානවා...නැත්තම් මේක නරක් වෙයි" ඈයට ම කියා, අල ගෙඩිය ගෙන වතුරට දැම්මා ය. බිත්තර තැම්බෙන තුරු වත්ත පහළට ගිය ලීලා වට්ටක්කා දළු කිහිපයක් ද, ඒ මල් ද කඩා ගෙන පැමිණියා ය. වට්ටක්කා දළු හා මල් තෙලට දමා, තුනපහ ආදිය දමා, පොල් කිරි ටිකක් දමා සිදෙන්නට හැරියා ය. තැම්බු බිත්තර ඇල්වතුරට ලා නිවෙන්න හැර නංගි සමග බිත්තර කටු හැර, තක්කාලී හා මිරිස් තුනපහ දමා, කිරිහොද්දක් තනා බාගෙට පැළු බිත්තර ද, තැම්බූ අල ගෙඩිය ද එයට දමා පිස ගත්තා ය. යහමින් බත්, පොල්සම්බෝල, වට්ටක්කා දළු මාලුව, හා බිත්තර ඒ ඒ බදුනට දමා, තාත්තා සමග දිවා ආහාරය ගැනීමට වත්තට යන්නට කඩසර ලෙස සූදානම් වූවා ය.


"නංගී වත්තට යන්න ලෑස්තිවෙන්න" නංගිට ඈ කුස්සියේ සිට කීවා ය. ලීලාගේ හඬින් අවදී වූ නංගි, සෙල්ලම් පසක ලා, ගේ හරහා කාමරයට දිව ගොස් ගවුමක් ඇඟ ලා ගත්තා ය.


ලිප ගින්දර තව ම පත්තුවේ; ඈ ලිප ළඟට ගියා ය. නොක්කාඩුවට මෙන් දැවෙන දර කැබැල්ල ලිපෙන් එලියට ඇද ගත්තා ය.


කෑදර කමින් ඇලී ඇලී දර කැබැල්ල සපනා ගින්දර දැල්ල, ලීලා දෙතුන් වරක් ලිප් බොක්කේ ගසා, හලා දැමුවා ය. ගිනි දැල්ලේ තියුණු දත් පහරින් නිදහස් වූ, දර කැබැල්ල අළු දුම්රොටුවකින් දිගු සුසුමක් පා කළ හැරියේ ය.

ගිනිපෙල්ල වෛරයෙන් රත් වූ දැසින් යුතු ව ලීලා දෙස දෙවරක් ඔරවා බලා, සැනසීමෙන් රතැස් පියා, කාල වරණ ව නින්දට වැටුණේ ය..

2 comments:

  1. I hear you, as it is related to me too. It is true that there is a cultural void within those who live outside their native country. There are things, we are longing for now, yet we took them as granted when we were back home. These could be a simple home-style meal or beauty of the nature in our villages.But, as I may guess, we are not exactly want to leave this place either. If that is the case, then making "හුදකලාව, කලාව" is not a bad idea.

    ReplyDelete
  2. @Dappi Sira,

    Exactly, I am with you 100%; however, I'll be going back to Sri Lanka on Feb 2010 for good! I am finishing my education here!!

    ReplyDelete