• පුර්වාදර්ෂ - මුළු වසර පුරාවට විවිධ වූ නරක පුර්වාදර්ශ රාශියක් පෙළ ගැසිණු දක්නට වි ය. ලංකාවේ මුළු දේශපාලන ඉතිහාසයේ බහුතර වශයෙන් ම දක්නට ඇත්තේ වැරදි පුර්වාදර්ෂයන් ය. අ...
    3 years ago

ඉවසාපන් උඹ: නිධාන කතාව


සමහර කවි මා ලියන්නේ මට ම ය. ඒවායේ විවිධ වූ ඉඟි තබා, මා හදේ වූ විවිධ කල්පනා සඟවා තබයි. සමහර කවියට මතුපිටින් පෙනෙනවාට වඩා, දාර්ශනික ප්‍රස්තුතයක් ඒ තුළ සඟවා ඇත; ඒවන් කවියකි මෙය. පසුගිය දින මා පළ කළ, කවිය ගැඹරේ ගැබ් වූ කතාව මදක් මතු කර ගන්නට “දුකාට හැකි වි ය. ඔහු මා ලී දේ පසුබිම නොදත් නිසා වික්ෂිපත් ව, අරුත ගැන අවිනිශ්චිත සටහනක් තැබී ය. ඒ හෙයින් ඔහුගේ වික්ෂිප්ත භාවය සැනසීමට මා කවිය පසුපස වූ ජීවන දෘෂ්ටිය හා දාර්ශනික සංකල්පනාව මෙහි ලියා තබමි:


බඩගිනියි නහුතයට ම

සිතලයි මේ වැසි රාත්‍රිය

අදුර දවා දැල්වෙන පහනක්

මා ඉදිරියේ රතු කමිසකරුවෙක්

බෙදයි තැම්බූ කඩල මුදලට

කඩලේ. . . කඩලේ. . . කඩලේ. . .

කෑගසයි ඔහු අත සීනුව

බඩගිනියෝ. . . බඩගිනියෝ. . . බඩගිනියෝ. . .

හඬයි දුකින් මා කුස

පෙරළෙයි ඒ මේ අත. . .


කුමක් කරන්න ද?

මා අත මුදල් නැත


ඉවසාපන් උඹ

ඉවසාපන් මයේ රත්තරන්

ඉවසාපන් අම්මා

ඉවසාපන් මයේ පණ

ඉවසාපන් බඩ!

මේ කව් සංකල්පනාව ඇති වූයේ දවසේ වැඩ අහවර කොට ගෙදර යාමට රැදී හුන් දෙවන බස් රථයේ දී ය. එදා වැසි දිනකි; බඩ ගින්න ඉහ වහා ගොස් ය. එය තවත් වැඩි කරනු සඳහා කඩල කරත්තයක් දක්කා ගෙන රතු වර්ණ ටී ෂර්ට් ඇද ගත් කොළුවෙක් කඩල විකුණ යි. සීතල රාත්‍රියේ සිසිලෙන් ඝනීභවත කඩල බන්දේසියෙන් නැගී හුමාලය චමත්කාර ලෙස ඉහළ නැගේ. එයින් නැඟෙන තරම්බූ කඩලවල නැවුම් සුවඳ බඩ ගින්දරට තව තවත් පිදුරු දමයි. දන්න හැම උපක්‍රමය ම යොදා, බඩ හිලෑ කරගන්නට උත්සහ කළත්, හිතුවක්කාර බඩ ද, කඩල ඉල්ලා අඬයි; කුරු කුරු ගි යි; අවිටිලි කරයි. ඉහළට පහළට හරහට පැත්තට ඒ මේ අත පෙරළේ. මා ද චිත්ත ධෛරය ගෙන බඩට තට්ටු කරමින් බඩ නළවන්නට උත්සහ කළෙමි; වරක දෙවරක තරවටු කොට බඩ මට්ටු කළේ ය.

මා අතේ මුදල් නැත; මම පසු දින සමාජ සේවා කටයුත්තකට බස් ගාස්තු පමණක් රදවා අත වූ සියල්ල ම දුනිමි. පඩි පතට තවත් සතියක් බලා හිඳිය යුතු ය. විවිධ දේවල් ගැන සිතමින් බඩ හිලෑ කරගන්නට නිරර්ථක උත්සහක් දැරීමි. කඩල ඉල්ලා හඬන දරුවෙකු සේ මා විසින් කියන නැලවිලී ගී, පරදා “බඩගිනියෝ, බඩගිනියෝ, බඩගිනියෝයි මොරගායි.

මගේ ගෙදර වත්ත පහළ අසල්වැසි නිවසක මහළු මිනිසෙකු විය. ඔහුගේ අන්තිම කාලයේ මනස විකෘති ව, හුන් තැන ම ජරා කොට, නිර්වස්ත්‍රව විසී ය. හෙතෙම සෑම දිනක ම, උදෑසන සිට සවස දක්වා විටින් විට, “බඩගිනියෝ, බඩගිනියෝ, බඩගිනියෝයි හේ හඬ තල යි. පහළ ගෙදර වුන් ඔහුගේ දරුවන් නාවන විට, “බුදු අම්මෝ. . .මිනී මරනවෝ යයි කෑ ගසයි. පසුගිය අවුරුදු කිහිපය පුරා, මේ හඬ සවනේ නොවැටුනේ, ඒ මහළු මිනිසා දිවියට සමු දී, තුමූ විඳී අපා දුකෙන් නිවන් ලැබූ බැවිණි. සසරේ වෙසෙන මිනිසා ද ජරාවේ ගැලී ගැලී, කෑ ගසන වේඳනාවේ හඬ, මට බඩේ දැඟලිල්ලෙන් සිහි විය. එහෙත් සසරේ දුක් විඳින මිනිසා හට, මුල කී මිනිසා තරම් වාසනාවක් වත් නැත්තේ, මොන දැඟලිල්ල දැම්මත්, කවර ප්‍රතිපත්තිය වැඩුවත් මේ දිවියේ තබා ළඟ ආත්ම භව දස දහස් ගණනාවක දී වත්, පුරවා ගත් පිං පව් ගෙවා, කිසිදා නිවන් දැකිය හෙයිනි. ඕනෑනම් කළ හැක්කේ මා මෙන්, කුසගින්න අමතක කරනු වස්, මොනවා හෝ යහපත් ක්‍රියා කර හිත සනසා ගැනීම පමණි. පව්කරුවෙකු ගේ මරණයෙන් මතු ලබන ඉරණම දන්නේ කවුරුන් ද?

කඩලකරුවාගේ රතු ටී ෂර්ටය, දුකාට දැණුනා සේ මට තායිලන්තයේ පසුගිය දිනවල උත්ඝෝෂණ පැවැත් වූ “රතු කමිසකරුවන් සිහි වි ය. ඔව්හූ ද මා කුසගින්න මෙන් සමාජ සාධාරණත්වයක් උදෙසා හඬ තැලු හ. කඩලකරුවාගේ පහනේ දීප්තිය ද, සුවඳ හමන කඩල දූමාරය ද, කන්නයි ආරාධනා කරන මනහර දසුන ද, නිවිහැනහිල්ල බිඳින කඨෝර සීනූ නාදය ද, මිනිසුන්, ඒ මඟ යන්නන් ඔහු වෙත ඇද ගැනීමට තනයි.

එහෙත් මා මෙන්, තායිලන්ත ආණ්ඩුව ද, රතු කමිසකරුවන්ගේ කඩලවලින් මහජනතාව ගේ කුස පුරවන්නට ඉඩ කඩක් නො කළේ ය. අවසානයේ රතු කමිසකරුවන් පරදවා ආණ්ඩුවේ මිලිටරි සපත්තුව හිස එස වී ය. ඔවුන් ගේ කොඳු කඩා, නායකයන් මරා, අභිමානය පගා, ජීවිතය තික්ත කොට, මගේ බඩගින්න මෙන් තම සපත්තු බූටයට යට කර දැමී ය. මෙකී සංසිද්ධිය ම, 1971, 1988-89, ජේ.වී.පී. හට ද නිර්දය ලෙස ඒ ඒ ආණ්ඬු මිලිටරි බලය යොදා මර්දනය කළ හ. රතු කමිසකරුවන් ජනතාව අතර සැඟ වී නොපෙනි අතුරුදහන් වි ය. පසුගිය යුද්ධ සමයේ ද, රතු ලෙයින් උතුරුකර තෙත් කර වා, රතු ධජ අත දරා යුද්ධ කළ ත්‍රස්තයන් ද පවතින රෙජිම මගින් දණ ගස් වා පරද වා, දකුණේ තැන තැන කිරි උතුරා, කිරිබත් කා, ජයපැන් පානය කර වී ය. යුද්ධ අනාථයන් කදවුරුවලට ගාල් කර, “අපි යාපනේ දෙමළ මිනිස්සුයයි ඔවුන්ට වූ අභිමානය බිඳ දමා, හිඟන්නන් ද, අතපාන්නන් ද, අසරණයන් ද බවට මුළු ජනසමාජයක් පත් කර වී ය.

එහෙත් අප අමතක නොකළ යුතු කරුණ වන්නේ කුසට ආහර දෙන තුරා කුස ගින්න නැවත නැවත මතු වන බව ය; කෑ ගසන බව ය; පෙරළෙන බව ය. අනෙක් අතට, වරක් ආහාර දීමෙන් පමණක් කුසගින්න නැති නොවේ. එය නිරන්තරයෙන් ම, ශාරීරික අවශ්‍යතාවය මත ම මතු වේ; සමාජ අවශ්‍යතාවන් ද එ සේ ය; අවශ්‍යතාවය සැපරී සහනය ලැබෙන තුරාවට අළු යට වූ ගිණි පුළුගු සේ, සාමාන්‍ය ජනතාව අතර හා යට සැඟ වී පවති වි; ලත් අවස්ථාවක නැවත මතු වී, ලැව් ගිනි තනා දේශයන් පුරා පැතිරි ඉසිරි, දේශය දවා දම යි෴

3 comments:

  1. බඩ ගින්නේ නිධාන කතාව නම් කියෙව්වා රවීන්. ප්‍රශ්ණය තියෙන්නේ ඔබ කියූ කරුණු වලයි. කරුණු කීපයක් ලිවීමට සිත් ඇතත් එය මග හැරිමට සිතුවා.

    හේතුව විශ්වවිද්‍යාල සිසුවියක්ව සිටි කාලයේ පටන් මම දේශපාලනය කියන්නේ අකමැතිම මතෘකාවක්. අදටත් ඒක එහෙමමයි.

    ReplyDelete
  2. ස්තූතියි ඔබේ සටහනට...එහෙත් ඔබේ හිතේ ඇති දෑ කිව්වා නම් තමයි හොඳ! කේසේ වෙතත්, ඒ මට හිතෙන හැටි; දකින විදිහ. ස්තූති යි!

    ReplyDelete
  3. පාපය ගත‍ වෙලී විට දැවෙනා ගින්න
    දුටු විට සුලු දෙයක් නොවැ මේ බඩ ගින්න

    When I see This post, I can feel you are in a trouble in mind. PL tell us. we ready to pray for you.

    ReplyDelete